දැනට ලංකාවේ පවතින තත්ත්වය තුළ තමන්ට අසනීපයක් නොමැති වාතාවරණයක් තුළ අනෙක් පුද්ගලයාගෙන් බෝවේයැයි යන ආකල්පය මත අනිසි බියක් ඇති කර ගෙන මුඛ ආවරණ පැළඳීම දැනට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසයි.


ආසාධිත පුද්ගලයින් සිප ගන්නේ නැති නම්‍, සාමාන්‍ය පරතරයක් මත සිට කෙළ බිඳිති ස්පර්ශ කරන්නේ නැතිනම් මෙම රෝගය සුළඟ මඟින් මෙම රෝගය බෝවීමේ හැකියාවක් නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


නමුත් විශේෂ අවශ්‍යතාවයක් පැන නගී නම් ඒ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පණිවිඩයක් නිකුත් කරමින් අදාළ අංශ වෙත මුඛ ආවරණය පැළඳිය යුතු වේලාවන් සඳහන් කරන බවත් විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසයි.


ආසාධිත පුද්ගලයෙක් නම් ඔහුට හෝ ඇයට මුඛ ආවරණයක් පැළඳිය යුතු බවත්, අද වෙළඳ පොළේ ඇති සාමාන්‍ය මුඛ ආවරණයක් පැය 8ක පමණ කාලයක් සඳහා පමණක් වංගු වන බවත් ඇය සඳහන් කළාය.


දිනපතා එකම මුඛ ආවරණය පළඳින්නේ නම් ඒ තුළින් වෙනත් වෛරසයන් පවා ශරීර ගත වීමේ අවධානමක් පවතින බවත් වෛද්‍යවරිය පැවසීය.


මෙම නව වෛරසය සතුන් අතර හුවමාරු වන වෛරසයක් බවද වෛද්‍යවරිය කියා සිටියාය.


එයින් සතුන්ට විවිධ ආකාරයේ බලපෑම් ඇති කරන අතර, සතුන් සමඟ නිතර ගැවසීමේ දී සමහර අවස්ථාවලදී මිනිසුන්ටත් මෙය ආසාදනය විය හැකි බවද වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළාය.


නමුත් සෑම වෛරසයක්ම මිනිසුන් අතර පැතිර නොයන බවත් කියා සිටි ඇය, 2002 වසරේ දී “සාස් වෛරසය“ උගුඩුවා වැනි සත්වයෙක් හේතුවෙන් ඇති වු බවත්, මර්ස් කොරෝනා වෛරසය ඔටුවන් මාර්ගයෙන් ද ඇති වීම තුළ ගෝලීය වසංගත තත්ත්වයක් ඇති වු බවත් පැවසීය.


මෙම නව වෛරසය විවිධ කාල පරාසවල දකින බවද පැවසු වෛද්‍යවරිය මෙවර ඇතිව තිබෙන තත්ත්වය මීට පෙර තත්ත්වයන්ට වඩා වෙනස් වු බැවින් එය “2019 නව කො රෝ නා වෛරසය“ යන නමින් හඳුන්වන බවත් කියා සිටියාය.

දෙවිනුවර විෂ්ණු දේවාලයේ සිට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට ගෙන සිටි ‘කලණ’ නමැති අලියා ආපසු එම දේවාලයට භාරදීම අභියාචනාධිකරණය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ ‘සත්ත්ව සුභ සාධන භාරය’ නමැති රාජ්‍ය නොවන සංවිධානය සහ එහි අධ්‍යක්ෂිකා අයිරාති කොඩිතුවක්කු ගොනු කර තිබූ ‘රිට්’ පෙත්සමක් සහ පෙත්සම්කරුවන් වෙනුවෙන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. මෙම තහනම ලබන මස 02 වැනිදා තෙක් දැනට බලපවත්වනු ඇති.

අවශය ප්‍රමාණයට කෑම ලබාදීම, නෑවීම ඉදුම් හිටුම් සැපයීම නිසියාකාරව සිදුකරන්නේ නැතිව වැරදි ලෙස සලකන බවට ලැබුණු පැමිණිලි උඩ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට ගත් ‘කලණ’ ආපසු දෙවිනුවර දේවාලයට භාරදුනහොත් වැඩිකල් යාමට පෙර මියයාමට ඉඩ ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය කියා සිටියා.

අභියාචනාධිකරණයේ සභාපති ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුවා.

පෙත්සම් විභාගය ලබන 23 වැනිදා පැවැත්වෙනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී සංරක්ෂක චන්දන සූරිය බංඩාර, දෙවිනුවර බස්නායක නිළමේ කේ.එච්. නන්දසිරි, පරිසර සහ වනජීවී ඇමැති එස්.එච්. චන්ද්‍රසේන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

අධි නීතිඥවරුන් වන ප්‍රියන්ත හේරත්, ඉසුරු සෝමදාස, අර්ජුන් සෙල්වරාජා සමග ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියා.


ඉඳුනිල් මාණික්කගේ

  

පක්ෂ විපක්ෂ දේශපාලකයන් විසින් ජාවාරමට සෘජුව සහ වක්‍රව සහය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අනාගත ජල අවශ්‍ය තාවය පවතින්නේ 3% බව අප අවස්ථා ගණනකදී පෙන්වා දී ඇත. එහෙත් ජනතාව අතරින් ඒ ප්‍රශ්නය දැකපු කීදෙනෙක් දැනුවත් ද කියලා ප්‍රශ්නයක් ඇත. පසුගියදා මීගමුව කඩොලාන ප්‍රශ්නයේදී වනජීවී නිලධාරිනිය ගම්පහ තත්වය පැහැදිලි කරන ලදී මේ වනවිට ගම්පහ දිසාවටම දැඩි වියළි කාලගුණයක් පවතින අතර ඇතැම් ප්‍රදේශවල පානීය ජාල හිගයක් පවා ඇතිවී ඇත. මේ සියලු කරනා එලෙස පවත්නා මොහොතක ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පස් ජාවාරම ජයටම සිදුවෙමින් ඇත. ඒ පසුගිය රජය සමයේ නැවතී තිබුණු බට කැලේ කන්ද සහ ගල් වලේ පස් කන්ද නැවත සක්‍රිය වී ඇත.

මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලීමේදී මෙම තත්වය සතයක් බව තහවරු වන ලදී. පසුගිය ආණ්ඩුව සමයේ මෙරට මාධ්‍ය වලින් පස් ජාවාරමට එරෙහිව ලබාදුන් මාධ්‍ය අනුග්‍රහය සම්පුර්ණයෙන් නවතා තැබීම තුල මෙම ජාවාරම්කරුවන් ජයටම දිවුලපිටිය මහ පොලව හාරමින් ඇත පසුගිය වසරේ නොවැම්බර් 19 වෙනිදා නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත්වීන් පසු මෙම වසරේ පෙබරවාරි මාසය වන විට දින 65 ට දිවුලපිටිය ප්‍රදේශයෙන් පස් කිවුබ් 25000 දහසක් ප්‍රවාහනය කර ඇත. ඒ අනුව දිනකට පස් ටිපර් දෙසීයකට අධික ප්‍රමාණයක් දිවුලපිටියෙන් පටවා දිස්ත්‍රිකයේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බවට හෙළිවී ඇත.

දිවුලපිටිය ප්‍රදේශයේ මේ වන විටත් විශාල පරිමාණයේ පස් කදු දෙකක දිනපතා පස් කැපීම සිදුකරයි. ඒ බට කැ ලේ සහ ගලවල අසල පස් කදු දෙකය පසුගිය කාලය පුරාම නැවතී තිබුණු මෙම පස් කදු දෙක හදිසියේ සක්‍රිය වීම සම්බන්ධයෙන් දිවුලපිටියේ ජනතාව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ නොකරන්නේ පස් වැලි මැටි ජාවාරම පිටුපස පවතින පාතාලය නිසාය. ඒ කෙසේ වෙතත් දිවුලපිටිය ප්‍රදේශයේ සිදුකරණ පරිසර විනාශය සම්බන්ධයෙන් කථා කල දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඩයස් සමරනායක මහතා සදහන් කලේ මෙවන් අදහසකි.

දිවුලපිටිය කියන්නේ සරුසාර පසක් සහිත භූමියක් මේ භූමිය එදා ජනතාවට විශාල පලදාවක් ලැබුණු බිමක් දැනට අවුරුදු 20 පමණ ඉදලා මේ භූමියේ මහ පොලව නුහුලන තරමේ විනාශයක් තමයි වෙන්නේ. මා ඔයට මායිම්ව ඇති දිවුලපිටිය අතීතයේ ඉදලා වැදගත් ප්‍රදේශයක් හැබැයි පසුගිය වසර 20 තුළ දිවුලපිටිය පාලනය කල පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ආශීර්වාදයෙන් මේ ජාවාරම් සිදු වෙනවා.

මෙම පස් සහ වැලි මැටි කැපීමේ ක්‍රමවෙදයක්‌ තියෙනවා ඒකට නීති තියෙනවා නිලධාරීන් නීතිය බල්ලට දලා වැඩකරපු නිසා දිවුලපිටියේ මහා පොලව ජනතාවට අහිමි වෙමින් පවතිනවා. ගම්පහ කියන්නේ මෙරට වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය ඒ ජනතාවගේ අනාගත ජල අවශ්‍යතාවය පවතින්නේ 3% යි මෙවැනි තත්වයක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ සරුසාර ප්‍රදේශයක් වන දිවුලපිටිය විනාශ කරන්නේ කවුද කියලා ගම්පහ මිනිස්සු දන්නවා.

පසුගිය කලේ නැවතිලා තිබුණු පස් ජාවාරම දැන් ජයටම සිදුවෙනවා. ආණ්ඩුව අරගෙන දින 60 පසුවෙනකොට දිවුලපිටියෙන් පස් ටිපර් 25000 ක් කපා අදින තැනට පත්වෙලා. ජනතාව මේවා ගැන කථා කරන්න බයයි. මේ පස් වැලි මැටි ජාවාරම නිසා ජීවිත් කීයක් නැති වුනාද..? ඒ නිසයි ජනතාව නිහඩ හැබැයි අපි මේ ගැන එදා වගේම අදත් කථා කරනවා හඩ නගනවා අපිට මොන බලපෑම් අවත ජනතාව වෙනුවෙන් කරන අරගලය පවා දෙන්නේ නැහැ දනයට බලයට නවෙන්නේ නැතිව මේ දිවුලපිටිය මහ පොලව රැකගැනීමේ අරගලය කරන්න සුදානම්.

   

බැලූ බැල්මට පෙනෙන්නේ හමා එන මුහුදු සුළඟට නැළවෙන, රසවත් පලතුරු අතු අග පිරි තුරු නිල්ල ය. ගාල්ල, හික්කඩුව, මීගමුව, පුත්තලම, කහඳමෝදර ඇතුළු වෙරළාශ්‍රිත ප්‍රදේශ ගණනාවකදී මෙන්ම මුතුරාජවෙල, මාදු ගග, දූවේ පන්සල, මාදිවෙල, මේ ආදී ප්‍රදේශ ගණනාවක දී ඈතින් පෙනෙන මෙම ඝන තුරු වදුල විටෙක නෙතට ගෙන එන්නේ සිසිලකි. තවත් විටෙක සැනසුමකි. එසේම තවත් විටෙක තේරුම්ගත නොහැකි ගුප්ත බවකි. කෙසේ වුවත් එම ගුප්තබව තුළද ඇත්තේ අපූර්ව සුන්දරත්වයකි.

කිරල ගෙඩියක්, පලතුරක් කඩා ගන්නවා හැරෙන්නට වෙන යම් කිසි ඵල ප්‍රයෝජනයක් නැති වන වදුලක් ලෙස පෙනී ගිය ද මෙම බිම්කඩ යට මිල කළ නොහැකි නිධානයක් ඇති වග කෙසේ නම් ඇදහිය හැකි ද.?

මේ මහ කිරළ කැළයේ සැඟවී ඇති සොඳුරු පාරාදීසය ගැන තොරතුරු පිළිබඳ සොයා බලන්නට වඩාත්ම පෙළඹවූ කරුණක් වූයේ මීගමුවේ කඩොලාන කලාපයක් ඉවත්කිරීමට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් කඩොලාන කැලේ රැකගන්නට පෙරට ආ වන නිලධාරිනියත්, ඇය රැකගන්නට කොන්දේසි විරහිතවම ඉදිරිපත් වූ ආණ්ඩුව ඇතුළු සමස්ත සමාජයේම විශාල පිරිසක් නිසා ඇතිවූ සමාජ කතිකාවය.

කඩොලාන කැලේ අසිරියත්, එහි මහ නිධානයත්, අති සුන්දර පාරදීසයක තොරතුරුත් පිළිබඳව විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අමරසූරිය පිටවල මහතාගෙන් අපි විමසුවෙමු.

“කඩොලාන පද්ධතියක් කියන්නේ ඉතාම සංකීර්ණ පරිසර ව්‍යුහයක්. ඒ කඩොලාන පරිසර ව්‍යුහය අපිට වෙන් කරන්න බැහැ. සත්ව විද්‍යඥයින් හෝ එසේ නැතහොත් පැළෑටි ගැන අධ්‍යයනයන් කරන විද්‍යාඥයින්, නැත්නම් සාගර විද්‍යාඥයින් වැනි සෑම කෙනෙකුගේම සහභාගිත්වය තියෙන්නට ඕනෙ පරිසර පද්ධතියක්. එතකොට මේ වගේ සංකීර්ණ පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීම ගැන, එහි සිටින ජීවින් ගැන, එහි කෙරෙන කාර්යයන් මොනවද කියන එක ගැන, එයින් සිදුවන වාසිය ගැන, දැනුම්වත් කළ යුතුයි.  ළඟදී ඔක්සිජන් වායුව ගැන කතා කළා. ඒ වගේම තවත් බොහෝ වටිනා දේ පරිසර පද්ධතිය තුළ වෙනවා නේ. අහසින් ඔක්සිජන් සපයනවා කියන එක පමණක්ම නෙමෙයි ඊට වඩා මහා ලොකු කාර්යභාරයන් තොගයක් කෙරෙනවා. ඉතින් මේ කාර්යභාරයන් මෙච්චර වෙනවාද කියන එක ගැන වෙරළාසන්න ජනතාව දැනුම්වත් කිරීම තමයි පළමු වෙනුවට කරන්න ඕනේ.

එසේම ලංකාවේ කඩොලාන ගැන කරන අධ්‍යයනයන් තවත් මීට වඩා කළ යුතුව තිබෙනවා. කඩොලාන හැමතැනම නැහැ. ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරලා එහි පාරිසරික කාර්යභාරය ගැන අවබෝධයක් ගත යුතුයි. කෙසේ වෙතත් මුහුදු වෙරළේ තියෙන පරිසර පද්ධතිය වෙනස් කරන එකේදී හොඳ අවබෝධයක් නැතුව හිතුමතේ නොකළ යුතුයි කියන එක තමයි මගේ අදහස. ඉවක් බවක් නැතුව හෝටල් ඉදිකිරීම් වෙනවානේ. ඒ මගින් මුහුදු වෙරළේම වෙනත් ප්‍රදේශයකට එහි අහිතකර බලපෑම් සිදුවෙනවා. ඒ නිසා හොඳ අවබෝධයක් ඇතිව පරිසර පද්ධතිය ගැන අවබෝධයක් ඇතිව කරන දෙයක් කරන්න ඕනේ. මහාචාර්ය එපිටවල මහතා පවසයි.

රටේ ජනගහනය ගත් විට වැඩිම ජනගහන ගනත්වයක් ඇත්තේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලය.


එබැවින් සාමාන්‍යයන් කඩොලානවලට විතරක් නොව මිනිස් ක්‍රියාකාරකම් නිසා සාමන්‍ය පරිසර පද්ධතියටම සිදුවී තිබෙන සහ වෙමින් පවතින හානිය ද වැඩිබව ඔහුගේ අදහස යි., භූගත ජලය, පස්, අපවිත්‍ර වීම් නිරන්තරව සිදුවන අතර, සාමන්‍ය පරිසර පද්ධතියේ තියෙන මේ සියල්ල මෙන්ම ලංකාවේ විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රදේශවලට පරිසරයට සිදුවන මෙම හානිවලට මිනිස් ක්‍රියාකාරකම් හේතු වෙයි. වෙරළබඩ ප්‍රදේශය පරිසරයේ සිදුවන වෙනස්කම්වලට බොහෝ සංවේදී පරිසරයකි. මෙය සැලකිල්ලට රටේ ජනතාව ඇතුළු, අප සියල්ලන් ඒ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුය යන්න ඔහුගේ අදහසයි.

කඩොලාන හැදෙන්නේ විශේෂ පරිසරයකය. කඩොලාන පද්ධතිය තුළ ජෛව විවිධත්වය එක පැත්තකින් තිබෙන අතර වෙනත් පරිසරවල නැති විවිධ ජීවින් කඩොලාන පද්ධති තුළ සිටී. කඩොලාන පද්ධතිය වෙනස් කිරීමෙන් එහි ජෛව විවිධත්වයට පමණක් නොව එම පරිසරයේ ඇති භෞතික තත්ත්වයෙනුත් වෙනස් වීමකට ලක්වෙයි.  මෙයට වසර ගණනාවකට පෙර 40,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින්, 5000 කට ආසන්න පිරිසක් අතුරුදන් කරමින් ඇතිවූ දරුණුතම සුනාමි ව්‍යසනය අද පවා සිතේ ඇති කරන්නේ දැවැන්ත කම්පනයක් මෙන්ම බියකි. මහාචාර්යවරයා පෙන්වා දෙන අන්දමට සුනාමියෙන් ඇතිවූ මොහොතේ කඩොලාන ප්‍රදේශවලට සිදුව ඇති හානිය අවමය.

“සුනාමිය ඇතිවුණු වෙලාවේ කඩොලාන තිබුණු ප්‍රදේශවලට සිදුවුණු හානිය අඩුයි. කඩොලාන නොතිබුණු ප්‍රදේශවල හානිය වැඩියි. භෞතික තත්ත්වයත් ඇති වෙන්න පුළුවන් කඩොලාන වලින්. ඒක නිසා භෞතික වශයෙනුත්, පාරිසරිකව ජෛව විවිධත්වයේ කාරණාවලට අමතරව භෞතික වශයෙනුත් ලොකු බලපෑමක් කඩොලානවලට කරනවා. මෝය ඉවුරු ඛාදනය අනිවාර්යයෙන්ම වෙරළබඩ ඛාදනය වැඩිවීමක්, සිදුවීමක් වෙන්න පුළුවන්. කඩොලාන හැදෙන්නේ විශේෂ පරිසරයකයි. එය හැමතැනකම හැදෙන්නේ නැහැ. කලපු වැනි ප්‍රදේශවල තමයි කඩොලාන දකින්න ලැබෙන්නේ. කඩොලාන පද්ධතිය තුළ සියලුම වර්ගයේ ජීවීන්, ජීවත් වෙනවා කියලා කියන්නේ, ඒ කියන්නේ, කුරුල්ලන්, මත්සයින්, ඇතුළේ පස් යට ජීවත් වෙන සතුන්ගේ සිට විවිධ සත්ව කොට්ඨාස මේ කඩොලාන පද්ධතිය තුළ ජීවත් වෙනවා.

අනික් පැත්තෙන් ගත්විට කඩොලාන පද්ධතිය නිසා අවට තියෙන පරිසරයට යම් බලපෑමක් ඇතිකරවනවා. උදාහරණයක් විදියට ආසන්න පරිසරය ආරක්ෂා කිරීමක් වෙන්නේ මේ කඩොලාන පරිසරය තිබුණොත් තමයි. උදා. කඩොලාන පරිසරයත් සමග වගුරු බිම් තියෙනවා කියලා හිතන්න. එවිට වගුරු බිම් ටික ආරක්ෂා වෙන්නේ මේ කඩොලාන පරිසරය තිබුණොත් තමයි. අපි ස්වභාව ධර්මයේ ක්ෂණික වෙනස් කිරීමක් කළොත්, ඒක වෙනත් පැත්තකින් අනිවාර්යයෙන්ම බලපෑමක් වෙනවා.

ඒ කියන්නේ අපි මුහුදු වෙරළේ කිසියම් කොටසක වෙරළේ එතැන ක්‍රියාකාරකම ගැන අවබෝධයක් නැතුව එතැන රැලි එන විදිය හෝ උදම් වඩදිය බාදිය ඒවාගේ මට්ටම ඉහළ පහළ යාම ගැන අවබෝධයක් නැතුව කිසියම් තැනක මොනවා හෝ දෙයක් කළහොත්, කිසියම් ගොඩකිරීමක්, ඉදිකිරීමක් කරනවා නම් ඒක එතැනට නෙමෙයි බලපාන්නේ ඊට එහා තැනක පරිසරයටයි.


හිතමුකෝ මුහුදු වෙරළේ බැම්මක් බඳිනවා ඛාදනය අඩු කරන්න කියලා. එවිට ඛාදනය නතර වෙනවා. නමුත් වෙන තැනකින් ඊට වැඩි වේගයකින් ඛාදනය සිද්ධ වෙනවා. මුහුදු වෙරළේ පරිසර පද්ධතිය ගැන අධ්‍යයනයක් නොකර, කිසියම් කටයුත්තක් කළොත් එහෙම එහි අනිසි ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ වෙරළේම තියෙන අනික් ප්‍රදේශයකටයි. ඒක නිසා හැම වෙලාවේම මූලික වශයෙන් ඒ කඩොලාන පද්ධතිය ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒක එකක්. ඔහු ඒ පිළිබඳව පැහැදිලි කර සිටියේ එසේය.

අනික් එක තමයි දැනට ලංකාවේ තියෙන ඔය කඩොලාන පද්ධතිය ඇත්තටම ඛාදනය වෙමින් විනාශ වීමේ තත්ත්වයක් තිබෙනවා. බටහිර වෙරළේ නැගෙනහිර වෙරළේ මඩකලපුව පැත්තේ අපි පර්යේෂණයක් කළා ජපානයේ විද්‍යාඥයින් පිරිසක් සමග. අපි බැලුවේ ඇත්තටම කඩොලාන ගැන නෙමෙයි. කඩොලාන හැදෙන පරිසරයේ පස් හා ජලය ගැන. අපිට හොඳට පෙනුණ දෙයක් තමයි ඒවාගේ ජලය, පස්, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපවිත්‍ර වෙලා තියෙන්නේ. බැර මූලද්‍රව්‍ය වැඩිවෙලා, වෙනත් විෂ ද්‍රව්‍ය ඒ පරිසරයට එකතුවෙලා තියෙන්නේ. ඒක හින්දා කඩොලාන විනාශ කිරීමේ තත්ත්වයකටත් අපි භාජනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවට අාවේණික නොවුණු කඩොලානත් ඔය සමහර ප්‍රදේශවල අපිට දකින්න ලැබෙනවා. යෝද නිදිකුම්බා වැනි ශාක නිසා. ඒවා ලංකාවට ආවේණික කඩොලාන නෙමෙයි.

මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පරිසරය වෙනස් කරන හින්දා, ලංකාවට ආවේණික කඩොලාන අඩු වෙමින් යන බවත් පේනවා. ජලය අපවිත්‍ර වී තිබෙනවා නම්, පස සාරවත් නොවු බවක් තිබෙනවා නම් පරිසරයට බලපෑමක් වෙලා තියෙනවා. එවිට ඒකට ආවේණික වෙන පැළෑටි වැවෙන්න ඉඩ තියෙනවා. අනික් පැත්තෙන් ක්‍රමවත්ව කරන මිනිස් ක්‍රියාකාරකම් නිසා, පරිසරයට තිබෙන බලපෑම් ගොඩාක් වැඩියිනේ. ඒ නිසා අපිට සුරකින්න තියෙන කඩොලාන පද්ධතියවත් සුරැකීම කියන දේ ඉතාම වැදගත්.

කඩොලාන පද්ධතිය තියෙන පරිසරයක මුහුදු ජලයේ තියෙන ලවණතාව තැනින් තැනට වෙනස් වෙලා තියෙනවා. ජෛව විවිධත්වය ගොඩක් වෙනස් වෙනව කිව්වේ ඒ නිසයි. මුහුදු ජලය, කඩොලාන තියෙන තැන්වල මුහුදු ජලය විටින් විට වෙනස් වෙනවා. කඩොලානවලට තමයි පුළුවන් ඒ වෙනස් වෙන පරිසරයේ ජිවත් වෙන්න. වෙන පරිසරවලට බැහැ. කඩොලාන කියන්නේ විශේෂිත පැළෑටි වර්ගයක්. අනික් පැළෑටි වගේ නෙමෙයිනේ. එතකොට මේ වගේ තියෙන එකක මුහුදු ජලයේ ලවණතාව අඩුවැඩි වීම වෙනස්වන විට සත්තුත් ඒ වෙනස් වීමේ තත්ත්වයට අනුකූලව වැඩ කරනවා.

හේතුව කඩොලාන තියෙන පරිසරයේ ඇති පස් සහ වතුර තියෙන ඔක්සිජන් ප්‍රමාණය තියෙනවානේ ඒක දෛනිකවත් මාසිකවත් වෙනස් වෙනවා. එතකොට කඩොලාන ගත්තට පස්සේ, කඩොලානවලින් පරිසරයේ ඇති ජලය තුළ ගුණාත්මක භාවය එනම් ලාවණිකතාව හෝ කරදිය ඒ ගුණාත්මකභාවය රැක ගැනීමට ඒ වගේම අපි ඒකට කියනවා ජලයේ පිරිසිදු භාවය clarity පැහැදිලි ජලයක් ඇතිවෙන්න ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපවිත්‍ර වී තිබෙන මුහුදු වෙරළට නේ අවසාන වශයෙන් අපද්‍රව්‍ය යන්නේ. ඒ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කඩොලාන. ඉතින් කඩොලානවලින් තමයි පරිසරයට එකතු වන අපද්‍රව්‍ය සියල්ල පිරිපහදු කරන්නේ.

ඒ වගේම තමයි මුහුදු වෙරළට ගහගෙන එන මඩ වගේ ඒවා, ගොඩබිමෙන් මුහුදට ගහගෙන යන රොන් මඩ ටික තියෙනවානේ ඒ රොන් මඩ මුහුදට ගහගෙන යන්න ඉඩ තියන්නේ නැහැ. ඒවා ඉතුරු කරගන්නේ කඩොලානවල තියෙන මුල් ටික හින්දා. මුහුදෙන් එන ඛාදනය පමණක් නෙමෙයි ගොඩබිමෙන් ගහගෙන ඛාදනය වෙන ඒවාත්වලින් පරිසරය ආරක්ෂා කරන්නේ කඩොලාන. මහාචාර්ය පිටවල මහතා පවසයි.

බැලු බැල්මට මඩ ගොඩක්, එසේ නැතහොත් පාවිච්චියට ගත නොහැකි භූමියක් ලෙස ඇතැමුන් කඩොලානක් දකින අතර තවත් සමහරුන් සිතන්නේ ඕනෑම කුණු ගොඩක් බැහැර කළ හැකි ස්ථානයක් ලෙසය. එහෙත් පරිසර විද්‍යාත්මක සහ ආර්ථික විද්‍යාත්මක වටිනාකමක් ඇති වටිනා බිමක් වූ මෙම කඩොලාන සම්බන්ධයෙන් පවතින වැරදි ආකල්ප ජනතාව නැති කර ගත යුතුව තිබේ. ස්වභාවධර්මයේ අපූර්වතම දායාදයක් වන මෙම කඩොලාන විනාශ කළහොත් නැවත අලුතින් ඇති කිරීම අසීරු බවත් තියෙන දේ රැකගනිමින් අලුතින් ඇති කරන්නට හැකි වන්නේ යැයි මෙම පරිසර විද්වතුන්ගේ අදහස ය. මේ පිළිබඳව අපි මහාචාර්ය ගිහාන් ජයසූරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයාගෙන් විමසුවෙමු.

“අපි හැමෝම හැම වෙලේම කතා කරනවානේ ලංකාවේ ආර්ථිකය වැඩි ආර්ථික සංවර්ධනය කරන්න සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ කියලා. මෙතැන දැනට ලෝකයේ තියෙනවා (Eco tourism) එකෝ ටුවරිසම් කියලා, පාරිසරික පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය කියලා අපි සාමාන්‍යයෙන් නිකම් දෙයක් බලන්න එන සංචාරකයෝ, රටට ඇවිල්ලා වැඩි වියදමක් කරන්නේ නැහැ. නමුත් එකෝ ටුවරිසම්වලට එන්නේ යම් දැනුමක් එක්ක. සාමාන්‍ය සංචාරකයෙකුට වුණත් එය ආකර්ෂණීයව රසවිඳින්න පුළුවන්. කඩොලාන කියලා කියන්නේ පාරිසරික වශයෙන් දැක්කහම ලස්සනයි. ඊට අමතරව කඩොලාන ගත්තහම විවිධ පක්ෂීන්ගෙන් බොහෝමයි. එම සංචාරකයන් ඇවිත් බලන්නේ විශේෂයෙන්ම පක්ෂීන්. විශේෂයන් සංචාරක පක්ෂීන් වගේම අපේ දේශීය පක්ෂීන් ගොඩාක් එක වෙලාවකදි වැඩි ප්‍රමාණයක් බැලීමට ඔවුන්ට හැකි වෙනවා. එවැනි පරිසර පද්ධතියක් තමයි කඩොලාන කියලා කියන්නේ.” මහචාර්යවරයා පවසයි.

“කඩොලාන තමයි අපි දන්න භෞමික පරිසර පද්ධතියෙන් වැඩිම නිෂ්පාදනයක් තියෙන පරිසර පද්ධතිය. නිවර්තන වර්ෂා වනාන්තර ගැන අපි කතා කරනවා. සිංහරාජය මේ ආදිය. නමුත් සිංහරාජය ජෛව විවිධත්වය අතින් වැඩි වුණාට නිෂ්පාදන හැකියාව අතින් ගත්තහම කඩොලාන වනාන්තරයක නිෂ්පාදන හැකියාව වැඩියි. කඩොලාන ශාක කියන්නේ විශේෂ පරිසර පද්ධතියක්. අපි ඒකට කියනවා උදම් කලාපීය ජලයෙන් යටවෙන සීමාව තුළ හැදෙන ශාකවලට තමයි අපි කඩොලාන ශාක කියලා කියන්නේ. වෙන ශාකවලට ඒ හරියේ හැදෙන්න බැහැනේ. අහිතකර පරිසර නිසා ජලයෙන් යටවීම, ලවණතාව ඒ වගේ විශේෂ පරිසර තත්ත්ව යටතේ මේ අන්තර් උදම් කලාපයේ හැදෙන ශාකවලට තමයි අපි කඩොලාන ශාක කියලා කියන්නේ.


කඩොලාන ශාකත් ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. සත්‍ය කඩොලාන සහ ආශ්‍රිත කඩොලාන. සත්‍ය කඩොලානවලට වැවෙන්න පුළුවන් අන්තර් උදම් කලාපයේම පමණයි. නමුත් ආශ්‍රිත කඩොලානවලට කඩොලානවලත් වැවෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ලවණතාව අඩු වගුරුවලත් වැවෙන්න පුළුවන්. ප්‍රධානම වැදගත්කම තමයි කඩොලානවල තියෙන නිෂ්පාදන හැකියාව වැඩියි. නිෂ්පාදනය වැඩිම ශාක තමයි මේ කඩොලාන ශාක කියලා කියන්නේ. නිෂ්පාදනය වැඩියි කියලා කියන්නේ එයා හදන ආහාර ප්‍රමාණය වැඩියි. පිටකරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩියි.

ආහාර ප්‍රමාණය වැඩියි කියලා කියන්නේ, අපි දැන් කතා කලේ ශාක ගැනනේ. සත්ව සංතතියක් ඉන්නවා. මේ නිෂ්පාදනය කරන ආහාර මත යැපෙන විශාල සත්ව සංතතියක් ඉන්නවා. විශේෂයෙන්ම කකුළුවන් මත්ස්‍යයන්. වැනි සතුන්. ඊට අමතරව මාළු අස්වැන්න ගැන කතාකරන විට මුහුදේ මාළු අස්වැන්න වුනත් තීරණය වෙන්න පුළුවන් කඩොලාන ආශ්‍රිත පරිසරයේ තියෙන තත්ත්වය මත. මොකද සමහර මාළුන් සහ කකුළුවන් විශේෂයන් ඉන්නවා. ඔවුන් බිත්තර දැමීම සඳහා පමණක් මේ කඩොලාන පරිසරයට එනවා. නිෂ්පාදනය වැඩියි කියන්නේ අපි කතාකරන ක්ෂුද්‍ර ජීවින්ගේ ප්‍රමාණයත් වැඩියි. ඉතින් ඒවා මත යැපෙන අනික් සත්ව සන්තතියත් වැඩියි. පහසුවෙන් ආහාර සොයා ගන්න පුළුවන්.

කඩොලානවල විශේෂයෙන් අර මුල් පද්ධතියක් තියෙනවානේ. පරිසරයේ පස එච්චර ස්ථාවර නැති හින්දා සාමාන්‍යයෙන් පසේ මඩ වැනි පසක්නේ තියෙන්නේ. ඒකට ඔරොත්තු දෙන විදියට මුල් පද්ධතියක් හැදිලා තියෙනවා කරුමුල් සහ කයිරිමුල් කියලා. මේවා අස්සට ගිහාම අර පොඩි සත්තුන්ට ආරක්ෂාවත් වැඩියි. ඒ නිසා බිත්තර දැමීම සඳහා සමහර සත්තු මෙතනට එනවා. එහෙම ඇවිත් බිත්තර දාලා, කුඩා පැටවු ඇතිදැඩි වුණාට පස්සේ තමයි යන්නේ. මිරිදිය පැත්තටත් යනවා. දෙපැත්තම ජෛව විවිධත්වය තීරණය වෙන්න පුළුවන් මේ ස්වභාවය මත.

ඇත්තටම ඔය නිෂ්පාදන ධාරිතාව වැඩි නිසා තමයි කඩොලාන විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. ඊළඟට දැන් අපි කොච්චර අපද්‍රව්‍ය පිට දානවද ගංගාවල් ආදියට. වගුරු බිමක් කියලා කිව්වහම කාර්මික අපද්‍රව්‍ය වැනි දේවල් කෙළින්ම අපි දානවනේ. වතුරේ තියෙන ගුණාත්මක භාවය අඩුවෙලා තියෙන්නේ ඒ කාර්මික අපද්‍රව්‍ය දැමීම නිසයි. ඇත්තටම කාර්මික අපද්‍රව්‍ය පෙරහනක් විදියට තියෙනවා.  කඩොලාන හැදෙන්නේ සාමාන්‍යයෙන් වඩදියවලින් වටවන ප්‍රදේශවල තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මිරිදිය ජලයෙන් වටවෙන්නත් පුළුවන්. සමහර බිම් තියෙනවා ඇත්තටම දකුණු වෙරළ සීමාව ගත්තහම මුහුදු මට්ටමට වඩා පහළ බිම් පවා කඩොලාන පරිසරයන් හැදිලා තියෙනවා. එතකොට එක කාල සීමාවකදී මේ බිම සම්පූර්ණයෙන්ම එක්කෝ මිරිදිය හෝ එක්කෝ කරදිය වතුරෙන් යටවෙනවා.

පස වතුරෙන් යටවුණා කියලා කියන්නේ පසේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. වායු දරාගන්න පුළුවන් අවකාශ ප්‍රමාණය අඩුවෙනවා. එතකොට ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. එතකොට සාමාන්‍ය ශාකයකට හැදෙන්න බැහැ. ලවණතාව තියෙනවා. ඔක්සිජන් පසේ තියෙන ඊට අමතරව එක කාලෙකදි වියළි කලාපයේ තියෙන තෙත් කඩොලාන එක් කාලයකදී සම්පූර්ණයෙන් වතුරෙන් හිඳිල යනවා. එතකොට තියෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයක්. එතකොට එයා දැන ගන්න ඕනේ වතුර නැති හින්දා ආරක්ෂා කරගන්න, එතකොට එයා දැනගන්න ඕනේ ජලයෙන් වටවුණු කාලයෙදි වුණත් තියෙන්නේ ලවණ වතුරනේ. එතකොට ශාකයට, ජලය උරාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. වියළි කාලය වුණත්, තෙත් කාලය වුණත් ජලයෙන් යට වෙලා තිබුණත් අපිට වතුර තියෙනවා කියලා පෙනුණට අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වතුර නෙමෙයි. අපිට කලපුවකින් ගිහිල්ලා වතුර බොන්න බැහැනේ. ඒ වගේම තමයි ශාකයකටත්. මේ වගේ පරිසරවලදි කඩොලාන ශාකයකට හැර වෙන ශාකයකට වැඩෙන්න අමාරුයි. කඩොලාන අයින් කළොත් ඔතැනට එන්නේ පඳුරු සහිත ලවන වතුරවල වැඩෙන ශාක තමයි එන්නේ. එකක් තමයි ඔය බිම්වල වෙන ශාකයකට වැවෙන්න හරි අමාරුයි.

කඩොලානක වටිනාකම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ විශාල වන වදුලක් වගේ පෙනුණට ඉන් එහා විශාල නිදානයක් මේ තිබෙන බව ද වඩාත් අවධාරණය කරමිනි.


“අපි හැමෝම කාලගුණ විපර්යාස ගැන කතා කරනවා. කාලගුණ විපර්යාස ගැන කතා කරද්දි ප්‍රධාන මාතෘකාව තමයි කාබන් පිට කිරීම ගැන. නිෂ්පාදන ධාරිතාව කියලා කියන්නේ කාබන් පිටකිරීමේ හැකියාවයි. ඊට අමතරව පරිසර පද්ධතිය නිසා කඩොලාන කොළයක් වැටිලා සමහර වෙලාවට ඉක්මනින් දිරලා යන්නේ නැහැ. හේතුව ලවණතාව වැඩියි. පසේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිය. ඒ නිසා ලොකු කාලයක් සාමාන්‍යයෙන් දිරුව අතු ආදිය නිසා පසට බොහෝ දේ එකතු වෙනවා. කාබන් ගබඩා කරගැනීමේ හැකියාව වැඩියි. වැඩිම පරිසර පද්ධතියක් තමයි කඩොලාන. එවැනි පරිසරයක් විනාශ කරනවා කියලා කියන්නේ කාබන් ඔක්කොම ටික එළියට මුදා හරිනවා. ඊට අමතරව කාබන් තවත් නැතිකරලා දානවා.

කඩොලාන විනාශ වීම මිනිස් ක්‍රියාකාරකම්, අනවශ්‍ය ඉදිකිරීම් වැනි දේ මෙන්ම වෙනත් පරිසර හේතු මත ද සිදුවෙන බව පෙනී යයි. මේ පිළිබඳව අපි ඔහුගෙන් විමසුවෙමු. ලවණතාව වෙනස් වීම. සමහර අවස්ථාවලදී මිරිදිය වතුර මෝයක සිට කලපුවකට යොමු කරන්න පුළුවන්. එතකොට කඩොලාන ශාක නැති වෙන්න පුළුවන්. කඩොලාන පරිසර පද්ධතියේ පැතිරිලා තියෙන ආකාරයක් තියෙනවා. සමහරක් කඩොලාන තියෙන්නේ කරදිය පැත්තට බරවයි. සමහර කඩොලාන තියෙනවා කඩොලානේ පිටුපස්සට වෙන්නට වගේ. විශේෂයෙන්ම ලවණතාව තමයි එයට හේතුව. ලවණතාව වෙනස් වුනොත් සමහර විශේෂයක් එතැනින් නැති වෙලා යන්න පුළුවන්.

කඩොලාන වනාන්තර ඉස්සන් කොටු නිසාත් විනාශ වෙනවා. ඉස්සන් වගාව ප්‍රචලිත කරපු 80 ගණන්වලදි වගේ කඩොලාන වනාන්තර තිබුණු බිම් තමයි එළි කරලා. ඉස්සන් කොටුවලට ගත්තේ. පහත් බිම් නිසා වතුර එකතු කරලා ටැංකි හදන්න පුළුවන් නිසා. 96 දි විතර කාලෙදි ඉස්සන්ට සුදු පුල්ලි කියන වෛරස් එකක් ඇවිත් තිබුණා. ඒවා සේරම අත්හැරලා දැම්මා ඉස්සන් කොටු. කඩොලාන වනාන්තර තිබුණු ඒවා තමයි ඉස්සෝ කොටු පත් කළේ. දැන් ඉස්සෝ කොටුත් නැහැ. කලින් තිබුණු කඩොලාන වනාන්තරත් නැහැ. පරිසර වෙනස් වෙලා අවශ්‍ය විදියට කානු කපලා එක එක රසායන ද්‍රව්‍ය දාලා දැන් ආයේ එතන කඩොලානක් ඉබේ වැවෙන්නේ නැහැ. අපේ බලපෑමෙන් තමයි ආයේ කඩොලානක් ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙන්නේ. ලංකාවේ වනගහනය සියයට 29 ක් වුණත් කඩොලාන ගහනය ඉතාම අඩු ප්‍රමාණයයි.

2020 ජනාවාරි මාසේ දි අලුතින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැදුවා. ලංකාවේ ඉන්නවා කඩොලාන සම්බන්ධයෙන් වැඩ කරන අයගේ කමිටුවක් තියෙනවා. පරිසර අමාත්‍යාංශයෙන් තමයි කට්ටිය එකතු කරලා තියෙන්නේ. අවුරුදු 2 ක් විතර ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැදුවා. කැබිනට් අනුමැතිය ජනවාරි 20 විතර ලැබුණා. එ්කේ ඇත්තටම ඔය ප්‍රශ්නෙ ගැන කතා කරනවා. ලංකාවේ කඩොලාන වගා කරන්න පෙළඹවීමකුත් තියෙනවා. වගා කළාට ඒක දීර්ඝකාලීනව අධීක්ෂණය කරන්නේ නැහැ. එක පාරක් වවලා අතහැරලා දානවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක අරමුණක් තමයි තියෙන කඩොලාන ටික ආරක්ෂා කර ගැනීම. තියෙන ප්‍රමාණයත් අඩුයි. අලුතින් වවන්නත් අමාරුයි. ඒ නිසා තියෙන ටික ආරක්ෂා කරගැනීම තමයි කරගත යුත්තේ.

ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර භාවිතය පිළිබද වු ජාතික ප්‍රතිපත්තිය පිළිබදව පැහැදිලි කරමින් මහාචාර්ය ගිහාන් එසේ පවසයි.

CCTV ගැලවූ කැළණියේ සරසවි සිසුන් අත්අඩංගුවට..!

කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 16 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට හිමි නමක් ද අයත්.


කැලණිය විශ්වවිද්‍යාලප පරිශ්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා ගණන පාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් වැඩිකිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා. කෙසේවෙතත්, විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊට දැඩි විරෝධයක් පළ කළා. ඒ, පාලනාධිකාරිය විසින් සිසුන් මර්දනය සඳහා සී.සී.ටී.වී කැමරා යොදාගන්නා බවට චෝදනා කරමින්.


මේ අතරතුර ඉකුත් සඳුදා පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ තිබූ සී.සී.ටී.වී කැමරා ගලවා ඉවත් කර තිබු අතර ඊට පසුදින විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ තමන් සී.සී.ටී.වී කැමරා ගලවා ඉවත් කළ බවයි. පසුව එදිනම පස්වරුවේ එම සිසුන් තමන් ඉවත් කළ සී.සී.ටී.වී කැමරා උපකරණ යළි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ එක් ස්ථානයකට ගෙනැවිත් දමා තිබුණා. ඉන් අනතුරුවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම කඩකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් ද ආරම්භ කරනු ලැබුවේ.


මේෂ ලග්නය

අද දවස ඔබට ඉතා කාර්ය බහුල දවසක්. නමුත් තමන්ගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වලට කාලය කැප කරන දවසක්. රාජ්‍ය අංශයේ රැකියා බලාපොරොත්තු ඉෂ්ඨ වේ. උෂ්ණාධික රෝග පීඩා බහුල කරන දවසක්. ඔබේ සුබ වෙලාව උදෑසන 6.58.

වෘෂභ ලග්නය

වෙනදට වඩා තරමක ආවේගශීලී ගති ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ඔබට අද දවස සාර්ථක කර ගත හැක. නිෂ්පල විය පැහැදම් වගේම නිෂ්පල ගමන් බිමන් බහුල කරන්න පුළුවන්. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී තරමක් ප්‍රවේසම් වන්න. නීති කරදර බාධා වලට ලක් වෙන්න පුළුවන්. අස්ථි ආශ්‍රිත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඔබේ සුබ කටයුතු උදෑසන 7.12 ට අරඹන්න ඔබට සුබ දවසක් උදා කර ගත හැකි වේවි.

මිථුන ලග්නය

තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ලබන්නට හැකි වේවි. උපදේශන සේවා සහ නීති අංශ වල කටයුතු කරන අයට සුබයි. සෙම් රෝග පීඩා බහුල කරන්න පුළුවන්. ඔබේ සුබ කටයුතු උදෑසන 9.58 ට අරඹන්න ඔබේ සාර්ථක කර ගන්නට හැකි වේවි.

කටක ලග්නය

පවුලේ දියුණුව වෙනුවෙන් ගනු ලබන තීරණ වලට සුබ දවසක්. නව යෝජනා වගේම නව ව්‍යාපාර අවස්ථා වලට මග පෑදෙන දවසක්. ජලාශ්‍රිත විපත් ඇති වෙන්න පුළුවන්. උදෑසන 8.36 ට ඔබේ සුබ කටයුතු අරඹන්න ඔබේ දවස සුබ වේවි.

සිංහ ලග්නය

ඔබ අද දවසේ තරගකාරී කටයුතු වලින් වැළකී සිටීම සුදුසුයි. චරිතයට කීර්තියට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමන් සන්තකයේ තිබෙන වටිනා දේ අස්ථාන ගත වෙන්නත් කැඩී බින්දී යන්නටත් ඉඩ තිබෙනවා. උෂ්ණාධික රෝග පීඩා වලින් පීඩා විඳින්නට ඉඩ තිබෙනවා. ඔබේ සුබ කටයුතු උදෑසන 8.24 ට අරඹන්න ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.

කන්‍යා ලග්නය

ඔබගේ පදිංචියේ හෝ රැකියා ස්ථානයේ වෙනස්කම් සිදු වන්නට ඉඩ තිබෙනවා. විදෙස් ගමන් බලාපොරොත්තු වුන අයගේ බලාපොරොත්තු ඉටුවේවි. ඔබ අද දවසේ දී මුදල් ගනුදෙනු වගේම ආයෝජනා කටයුතු වලදී පරෙස්සම් වන්න. ඔබේ සුබ කටයුතු අරඹන්න උදෑසන 8.48 ට ඔබට සාර්ථක දවසක් උදා වේවි.

තුලා ලග්නය

පසුගිය කාලයේ කර ගන්නට තිබුන කටයුතු පිලිබඳ තීන්දු තීරණ ගන්නට හැකි වන දවසක්. ප්‍රභල මංගල යෝග උදාවන නිසා විවාහයට තිබුන බාධක මගහැරෙන බවක් තමි පෙන්නුම කරන්නේ. අවේලාවේ ස්නානයෙන් සෙම් රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඔබේ සුබ කටයුතු උදෑසන 7.12 ට අරඹන්න ඔබට අද දවස සුබ දවසක් වේවි.

වෘශ්චික ලග්නය

අද දවසේ ඔබට සෞඛ්‍ය පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම වැය පාර්ශවය ඉහල යන දවසක් වෙන්නට පුළුවන්. විනෝදයෙන් ගත කරන දවසක්. වම් ඇත වම් පාද ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන්. උදෑසන 6.58 ට ඔබේ සුබ කටයුතු අරඹන්න ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.

ධනු ලග්නය

අද දවස ඔබ වැඩිපුර ආගම දහමට නැඹුරුවන දවසක්. මේ නිසා මානසික සුවය ගෙන දෙනවා. වම් පාද ආශ්‍රිත ආබාධතා ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඔබේ සුබ කටයුතු උදෑසන 8.23 ට අරඹන්න ඔබට දවසේ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.

මකර ලග්නය

ඔබේ අද ආවේගශීලී ගති ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. සතුරු කරදර බාධා උත්සන්න වෙන්න ඉඩ තිබෙනවා. ලිපි ලේඛන කටයුතු වලදී කල්පනාකාරී වෙන්න නීතිමය ගැටළු ඇති වෙන්න පුළුවන්. ආහාර දිරවීමේ දුර්වලතාවයන් ඇති වෙන්න පුළුවන්. උදෑසන 8.34 ට ඔබේ සුබ කටයුතු අරඹන්න ඔබට අද සුබ දවසක් වේවි.

කුම්භ ලග්නය

අධ්‍යාපන කටයතු වලට සුබයි. ඒ වගේම තරග ජයග්‍රහණ වලින් ජය ලැබීමේ හැකියව පවතිනවා. ගේ දොර ආශ්‍රිතව තිබු ගැටළු නිරාකරණය කර ගන්නට හැකි වේවි. පිට කොන්ද ආශ්‍රිත ආබාධතා ඇති වෙන්න පුළුවන්. උදෑසන 9.58 ට ඔබේ සුබ කටයුතු අරඹන්න ඔබට ඔබේ වැඩ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.

මීන ලග්නය

ඔබ අද දවසේ සැහැල්ලුවෙන් සිටින දවසක්. බුද්ධියට වඩා හැගීම් වලට මුල් තැන දෙන නිසා ආදරය සම්බන්දව තීරණ ගනිද්දී ඉතා කල්පනාකාරී වෙන්න. කාන්තාවන් සමග කටයුතු කරද්දී ප්‍රවේසම් වන්න. ඔබේ සුබ කටයුතු උදෑසන 10.12 ට අරඹන්න ඔබට සාර්ථක දවසක් උදා කර ගත හැකි වෙවී.

මෙම තොරතුරු ලක් අරණ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක මගින්ද ලබා ගත හැකිය

Download LakArana

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී ශ්‍රී ලංකා රජය මීට පෙර ලබාගත් ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් ලබා ගැනීම පිළිබඳව තමන් කනගාටු වන බවත් නව ප්‍රවේශය මගින් ශ්‍රී ලංකාවේ  ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරියට ගමන් කිරීමේ ප්‍රයත්නයන් වලක්වාලීමේ අවදානමක් ඇති  බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් සඳහන් කළාය.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික යාවත්කාලීනය කරමින් ඇය මේ බව අද (27දා) ජිනීවා නුවරදී සඳහන් කළාය.


ශ්‍රී ලංකාවේ පවතින ගැටලු විසඳීම සඳහා තවත් කොමිෂන් සභාපත් පත්කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දක්වමින් ඇය සඳහන් කළේ මීට පෙරද ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කළද ඒවා ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට අපොහෝසත් වී ඇති බවත් තවත් කොමිෂන් සභාවක් පත්කිරිම මගින් ගැටලු සඳහා විසඳුමක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඇය පැවැසීය.


ශ්‍රී ලංකාවේ සිවිල් කටයුතු සඳහා ආරක්ෂක අංශ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම පිළිබඳව වාර්තාවන කරුණු පිළිබඳව තමන් කනගාටුවන බවත් ඇය සඳහන් කළාය.


“රජය සිය සියලු ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු අතර සියලු ජන කොටස්වල, විශේෂයෙන් සුළු ජාතීන්ගේ අවශ්‍යතා පිළිගෙන ඒවාට පිළියම් යෙදිය යුතුයි. පසුගිය වසර කිහිපය තුළ ලබා ඇති ධනාත්මක කරුණු සුරැකීමට හා  ඒවා ඉදිරියට ගෙන යන ලෙස ට මම රජයෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලයට දේශපාලන හා සම්පත් සහාය ලබා දෙන බවට සහතික වන ලෙස මම රජය දිරිගන්වමි. සියලු ජන කොටස්වලින් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය හා විසඳුම් ලැබිය යුතුයි.


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශක්තිමත් කරන ලද ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන එහි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ප්‍රධාන කුළුණකි. සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යයට ඇති ඉඩ ආරක්ෂා කළ යුතුයි. එබැවින් ආරක්ෂක අමාත්‍යාංශය හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් යටතේ සිවිල් කටයුතු ගෙනයාමේ මෑත කාලීන ප්‍රවණතාව සහ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ වින්දිතයින්ට සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් පිළිබඳ වාර්තාවන නව කරුණු ගැන මම කනස්සල්ලට පත්ව සිටිමි. දෙමළ හා මුස්ලිම් යන සුළු ජාතීන්ට එරෙහිව වෙනස් කොට සැලකීම්,  ආරක්ෂක ප්‍රතිපත්ති, වෛරී ප්‍රකාශ වැඩිවෙමින් පවතී.


ශ්‍රී ලංකාව තවමත් අතීතයේ සිදු වූ  ගැටුම් සම්බන්ධයෙන් දුර්විපාක නොලබා සිටීම මෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණයන්ද සිදුකර නොමැත. අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ අඛණ්ඩව පවතින පද්ධතිමය බාධක සැබෑ යුක්තියට බාධාවක් ලෙස පවතී.


අතීතයේ දී දේශීය ක්‍රියාදාමයන් වගවීම පිළිබඳව පිළිතුරු ලබාදීමට අපොහොසත් වී ඇති අතර තවත් විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම මෙම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස නොකරමි. වින්දිතයින්ට තවමත් යුක්තිය අහිමි වී ඇති අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අතීත රටාවන් නැවත ඇති නොවන බවට සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට සහතිකයක් නොමැත.”

DailyMotion

Powered by Blogger.