ඔබ වෙනස් යැයි ඔබට කවදා හෝ දැනී තිබෙනවාද? නැත්නම් ඔබත් නිතරම අලුතින් එන දේවල් අත්හදා බලන්නට හෝ අනුන් අනුකරණය කරන්නට පෙලඹෙන අයෙක්ද? එහෙනම් ඔබත් අවම බවේ සංකල්පය (minimalist concept ) තුළ ජීවන රටාව ගෙනියන්න උත්සාහ කරන අයකු ලෙස සැලකිය හැකියි.

එසේනම් බලන්න, පහත ලක්ෂණ ඔබට කොයිතරම් තිබෙනවාද කියා.

1. යමක් කිරීමේදී සැලසුම් කර එය කිරීමේ පුරුද්ද සහ අවශ්‍යතාව ඔබ තුළ තිබෙනවාද?

සැලසුම් වෙනස් වුණොත් හෝ වැරදුණොත් ඊළඟට කරන දේ ගැන අවබෝධයක් ඔබට තියෙනවාද? අමාරු කාර්‍යයන් පවා නිම කරන්නට හැකි බව ඔබ විශ්වාස කරනවාද ? එසේ නම් ඔබ විධිමත් ජීවිතයක් ගෙවන කෙනෙක්.

2. ඔබ ඔබේ බාහිර පෙනුම ගැන ඕනෑවට වඩා වද වෙන කෙනෙක් නොවේ. නමුත් ඔබේ අභ්‍යන්තර ගුණ ගැන ඔබ නිතරම සිහි කරනවා.

තරු පන්තියේ හෝටලයේ සාදයකට වගේම සාමාන්‍ය නිවසක සාදයකටත් යෑමට හැකි බවට ඔබ තුළම ඔබ ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. ඔබේ ඒ වෙනස විවේචනය කරන කොටසක් සිටියත් ඔබට එය ගැටලුවක් වන්නේ නැහැ.

3. ට්‍රෙන්ඩ් එක කුමක් වුවත් අලුත් අලුත් විලාසිතා දවසින් දවස ආවත් ඔබ තෝරාගන්නේ ඔබට සුදුසුම සහ ගැළපෙනම දේවල් පමණයි. කොයි කාලෙටත් ගැළපෙන අපූරු විලාසිතා කිරීමේ හැකියාවක් ඔබට තියෙනවා.

4. ප්‍රමාණාත්මකව දක්වන සැලකිල්ලට වඩා ගුණාත්මකභාවය පිළිබඳව ඔබ ලොකු සැලකිල්ලක් දක්වනවා.

රු 100කට බඩු දහයක් ගන්නවාට වඩා රුපියල් දහසේ බඩු දෙකක වටිනාකම ඔබ හොඳින් හඳුනනවා.

5. ඔබ තදින්ම අපද්‍රව්‍යවලට අකමැති කෙනෙක්. උදාහරණයක් විදිහට ඔබ ළඟ තියෙන නිය ආලේපන වර්ගයේම අලුත් වර්ගයක් වෙළෙඳපොළට ආවත් ඔබ ඔබේ පාවිච්චි කරන කට්ටලයේ ගැටලුවක් නැත්තම් එය අවසන් වනතුරුම පාවිච්චි කරනවා. ඒ වගේම ඔබේ ඇඳුම් අඳින්නට නොහැකි නම් එයින් බෑගයක් හෝ පාපිස්සක් හෝ මසාගෙන කුස්සියේ වැඩකට හෝ ප්‍රයෝජනයට ගැනීමට උනන්දු වනවා.

6. ඕනෑවට වඩා අලංකාර කිරීමට වඩා පිරිසුදුකම, පිළිවෙල ඔබ නිතරම අගයනවා. අත්‍යවශ්‍යම දේවල් පමණක් ළඟ තබාගන්නා ඔබ බොහෝ කලාතුරකින් උවමනා වෙන දේවල් ළඟ තබා ගන්නට උත්සාහ ගන්නේ නැහැ.

7. ඔබේ නිවසේ සියල්ලටම වඩා ඔබ නිදහස් අවකාශය අගය කරනු ලබනවා. නිවසේ සෑම අඟලක්ම විවිධ උපකරණවලින් සහ ගෘහ භාණ්ඩවලින් පුරවනවාට වඩා හිස් අවකාශය ඔබට මහත් නිදහස් බවක් සාමකාමී බවක් ගෙනදෙනවා.

8. මුදල් සම්බන්ධයෙන් ගත් විට, ඔබ ළඟ මහා ලොකු ඉතුරුමක් නැති වුණත් ණය නොවී/ තියෙන මුදලට අනුව හොඳින් වැඩ කරගැනීමේ හැකියාව තිබෙනවා.

9. ඔබට නිතරම ඉවත් කිරීමට මහා ගොඩක් කුණු හෝ අපද්‍රව්‍ය නැහැ. ඒ නිසා සාමාන්‍ය පිරිසුදු කිරීම් පමණක් ඔබට හැමදාම කරන්නට සිදුවේ. නමුත් එය ඔබට වදයක් වන්නේ නැහැ. අතිරික්තය ඉවත් කිරීම, ඔබේ ජීවිතය සරල කිරීම සහ ඔබේ ප්‍රමුඛතා නැවත මතක් කරගැනීම වගේ දේවල්වලට ඔබ මුල්තැන දෙනු ලබනවා.

10. අවුල් සහගත බවට ඔබ දක්වන අකමැත්ත හැමදේටම පොදුයි. ඒ නිසාම ඔබේ මිතුරු මිතුරියන් පවා ඔබට නොගැළපෙන අවුල් සහගත අය ලෙස හැඟෙන්නේ නම් ඔවුන්ගෙන් ඉවත්වී ඔබේ ගමන නිදහසේ යන්නට ඔබ ප්‍රිය කරනවා. ඒ, ඔබට සුදුසුම සහ ඔබට වඩාත්ම වැදගත් වන අය සමඟ පමණක් හිදීමට ඔබ ප්‍රිය කරන නිසයි.

ඉතින් ඉහත කී ගුණාංගවලින් කීයක් ඔබ තුළ තියෙනවා ද ? කල්පනා කරලා බලන්න. නැතිනම් ඒ ගුණාංග ඔබේ ජීවිතයට ඇතුළු කරගැනීමට උත්සාහ කරන්න.

Post a Comment

DailyMotion

Powered by Blogger.