රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා පූර්ණ වශයෙන් ආකල්පමය වෙනසක් සිදුවිය යුතුව තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේ පුවත්පත් කතුවරුන් සහ විද්යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමඟ පැවැති සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (16) එක්වෙමිනි. එහිදී නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කෙළේය.

රාජ්‍ය සේවයේ වෙනසක් සිදුවිය යුතු යැයි ජනතාව විශ්වාස කරනවා. ජනතාව තමන් හට බලය දුන්නේ එම වෙනස්කම් සිදුකිරීම සඳහායි.මාධ්‍ය නිදහසට මගෙන් කිසිම බාධාවක් නැහැ. ඕනේ දෙයක් ලියන්න පුළුවන්. සමහරු මං ගැන චිත්‍රයක් මවාගෙන ලියනවා. ජනාධිපතිවරයා ලෙස හෝ ආණ්ඩුවෙන් හෝ බලපෑමක් කරන්නේ නැහැ. ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න, හරිමඟට යොමු කරන්න මාධ්‍ය කරන මෙහෙවර ඉතා වැදගත්. මාධ්‍ය හරහා බොහෝ දේ දැනුම් දිය හැකියි. ජනමතය කුමක්ද යන්න වගේම ආණ්ඩුවේ වැරැදි තියෙනවා නම් ඒවා ලියන එක හොඳයි. එවැනි දේ ආණ්ඩුවේ මාර්ගය නිවැරැදි කිරීමට උදව්වක් වෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා පත් කරන නිලධාරීන් එම ආයතන අවශ්‍ය ලෙස ගෙන යෑමට සම්බන්ධයෙන් මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මාධ්‍ය ආයතනයක වැදගත්කම තියෙන්නේ වැඩි දෙනක් අතරට යනවා නම් තමයි. එක් පාර්ශ්වයක් වෙනුවෙන් පමණක් වැඩ කරනවා නම් එම මාධ්‍ය වැඩි දෙනෙක් අතරට යන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මධ්‍යස්ථව ක්‍රියා කිරීම එම ආයතනවලටත් හොඳයි.

ඩෙංගු රෝගය වැළක්වීම සම්බන්ධයෙන් අපි ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී තිබෙනවා. ඩෙංගු මර්දනයට මදුරුවනුත් ගෙනාවා. ඒවා තවම තියෙන්නේ පර්යේෂණ මට්ටමේ. සිංගප්පූරුවේ ඒවා පාවිච්චි කළාට එහෙත් තවම ඩෙංගු රෝගය තියෙනවා. ඩෙංගු මර්දනයට පිරිසිදු කිරීම ඉතා වැදගත්. ආණ්ඩුකාරවරුන්ට මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකියි.

මාධ්‍යයටත් පුළුවන් රාජ්‍ය නිලධාරීන්ට වැඩ කරන්න කියලා කියන්න. සමාජය තුළින් මතයක් ඇවිත් තියෙනවා රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතුයි කියලා. ජනතාව මට බලය දුන්නේ මේවා වෙනස් කරන්නයි. 2005 ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩ භාර ගන්නා විට ත්‍රස්තවාදය හමුදා ක්‍රියා මාර්ගයකින් අවසන් කරන්න බැහැ කියලා විශ්වාසයක් තිබුණා. නමුත් අපි සමාජය තුළ මතයක් නිර්මාණය කළා ත්‍රස්තවාදය හමුදා ක්‍රියා මාර්ගයකින් අවසන් කරන්න පුළුවන් කියලා. ඒ අනුව කෙටිකලකින් අපි ත්‍රස්තවාදය පරාජය කළා.

ජනතාව බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරයි කියලා. රාජ්‍ය ආයතන සෑම දෙයකටම අවශ්‍ය වෙනවා. රාජ්‍ය ආයතන කාර්යක්ෂම වීම ඉතා වැදගත්. ලක්ෂ 15ක පමණ රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් මේ රටේ සිටිනවා. රාජ්‍ය ආයතන තුළ ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි. ඒ සඳහා මාධ්‍ය තුළිනුත් විශාල මෙහෙවරක් සිදු කළ යුතුයි.

අපි ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ක්‍රමයෙන් ක්‍රියාවට නංවාගෙන යනවා. බදු අඩු කිරීම හරහා ජනතාවට විශාල සහනයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් සමහරු සමාගම් එහෙම සහනයක් දීලා නැහැ. මාධ්‍යයට පුළුවන් ආණ්ඩුව මේ පමණ සහන දීලා තියෙන විට ඇයි ඒ සහනය ජනතාවට නොදෙන්නේ කියලා එම සමාගම්වලින් අහන්න. බදු සහන දුන්නත් සිමෙන්ති මිල රුපියල් සියයකින් පමණ ඉහළ යනවා කියලා දැන ගන්න ලැබුණු අවස්ථාවෙදී මම අදාළ අංශ දැනුවත් කරලා මිල පහත හෙළන්න කියලා උපදෙස් දුන්නා.

අඩු ආදායම්ලාභී ජනතාවට රජයේ රැකියා ලබාදීමට අපි ඉදිරිපත් කරපු යෝජනාව අනුව ජනවාරි 15 වැනි දා පමණ වන විට එම රැකියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පිරිස හැමදාමත් දිළිඳු බවෙන් ජීවත් වන්නේ කිසිදු නිපුණතාවක් නැති නිසයි. රාජ්‍ය සේවයේ නිපුණතාවක් අවශ්‍ය නැති රැකියා විශාල ප්‍රමාණයක් තිබෙනවා. සමහර රැකියාවලට සාමාන්‍ය පෙළ සමත්විය යුතුයි. හැබැයි උසස් පෙළ සමතුන් පවා ඒ රැකියාවලට එනවා. ඒකෙන් එන අයට වැඩකුත් නැහැ, රජයට වැඩකුත් නැහැ.

ඒ වගේම අපි ඉදිරිපත් කරපු සහන පැකේජය වගේම වතු වැටුප් සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනාවත් ඉදිරියේ දී ක්‍රියාවට නංවනවා. උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දෙනවා කියලා මතයක් සමාජයේ තිබෙනවා. මම ආරක්ෂක ලේකම් වශයෙන් සිටියදී උපාධිධාරීන් 800ක් පමණ ආරක්ෂක අමාත්‍යාංශයේ රැකියාවලට ආවා. මට සිද්ධ වුණා මේ 800 යොදවන්නේ කොතැනටද කියලා මුල ඉඳලා හොයන්න.

සමහර පාසල් තියෙනවා උපාධිධාරී එක ගුරුවරයෙක්වත් නැති. අපිට පුළුවන් නම් මේ උපාධිධාරීන්ට අඩුම ගානේ වසරකවත් පුහුණුවක් ලබාදීලා ඒ පාසල්වලට දාන්න ඒ පාසල්වලට පුහුණු ගුරුවරුන්වත් ලැබෙනවා. එම්. සී .සී .ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් යෝජනාවක් ආවේ නැහැ. අපි කැබිනට් මණ්ඩලයේ දී ඒ ගැන කතා කළා පමණයි. ඒ ගැන හොයලා බලන්න කමිටුවක් පත් කරන්න අපි තිරණය කළා. මමවත් දන්නේ නැහැ මේ ගිවිසුමේ මොනවා තියෙනවාද කියලා. ඒ ගැන අධ්‍යනය කරන්න තමයි අපි කමිටුව පත් කරන්නේ.

අතුරුදන් වූවන් ගැන තියෙන ප්‍රශ්න දේශපාලනීකරණය වීම තමයි දැන් ගැටලුව වෙලා තියෙන්නේ. එල්. ටී. ටී. ඊ.ය වගේම හමුදාවෙත් අතුරුදන් වෙලා තියෙනවා. යුද්ධයක් තියෙන අවස්ථාවක අපට සමහර මළ සිරුරු ආපසු අරගන්න පුළුවන්කමක් නැහැ. හමුදාවෙත් මේ විදියට 5000ක් පමණ අතුරුදන් වෙලා තියෙනවා. සමහරු කිව්වා පොළව යට බිංගෙවල්වල හංගගෙන හිටියා කියලා. හැබැයි පසුගිය ආණ්ඩුව වසර පහක් බලයේ හිටියා නිසා එවැනි දෙයක් තියෙනවා නම් හොයා ගන්න තිබුණා. නමුත් එවැනි තත්ත්වයක් වාර්තා වෙලා නැහැනේ.

ජාතික ආරක්ෂාවෙන් තොරව ජාතික සමගියක් ගොඩනැගෙන්නේ නැහැ. ජාතික සමගිය ඇති වෙන්න නම් ජාතික ආරක්ෂාවක් අවශ්‍යයි. අපි ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරුන් ගැන මට විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම බුද්ධි අංශ අපි ප්‍රතිසංවිධාන කර තිබෙනවා. අපි සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කර තිබෙනවා. මම ජනාධිපති ධුරය භාරගන්නා අවස්ථාවෙත් කිව්වා දෙමළ සහ මුස්ලිම් ජනතාව අපට සහාය දුන්නේ නැහැ, දැන්වත් ඒ අය අප එක්ක එකතු වෙන්න ඕනේ කියලා. මම අපේ ආණ්ඩුවේ ඉන්න එකම උතුරේ දෙමළ ඇමැතිවරයා වන්නේ ඩග්ලස් දේවානන්ද මහත්තයායි. අපි එතුමට දුන්නේ ජාතික ඇමැති ධුරයක්. වසර 70ක් තිස්සේ අපි ෆෙඩරල්, බලය බෙදීම ගැන කතා කරනවා. නමුත් බහුතරයක් ඒකට අකමැති නම් ඒවා කරන්නේ කොහොමද?. හැමදාම ජනතාව රැවටෙනවා විතරයි.

රත්නසිරි පතිරණ සහ
ධනුෂ්ක ගොඩකුඹුර

Post a Comment

DailyMotion

Powered by Blogger.