රජයේ සමස්ත බදු ආදායමෙන් 50%ත්, 55%ත් අතර ප්‍රමාණයක් ලබාදෙනුයේ ශ්‍රී ලංකා රේගුව විසිනි. 2018 වසර සැලකීමේදී රේගුව උපයා දී තිබෙන බදු මුදල රුපියල් බිලියන නවසිය දහ නවයකට අධිකය. රේගු දෙපාර්තමේන්තුවට අලුතින් හඳුන්වා දී තිබෙන ස්කෑන් යන්ත්‍ර හේතුවෙන් රේගුවේ මුදල් අවභාවිතා වන බවට රට තුළ කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව ස්කෑන් යන්ත්‍රවලට අදාළ ගිවිසුම සංශෝධනය කරන ලෙසට රේගු වෘත්තීය සංගම් කිහිපයක් ජනාධිපතිවරයාගෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙන බවට වාර්තා වේ. මේ පිළිබඳව හා රේගුවේ කටයුතු පිළිබඳව %අද^ අපි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් J.A. ගුණතිලක මහතා සමග කතාබහක නිරත වූයෙමු.

නව තාක්‍ෂණය

රේගු දෙපාර්තමේන්තුවට නව තාක්‍ෂණය හඳුන්වා දෙන එක ඉතාමත් හොඳ දෙයක්. හැබැයි ඒ සෑම දෙයක්ම සිදුවිය යුත්තේ රටට බරක් නොවන ආකාරයට. රේගුවේ මුදල් වියදම් කරලා ගන්න හැම දෙයකින්ම රටට වැඩක් වෙන්නත් ඕන.

නව ස්කෑන් පද්ධතිය

ශ්‍රී ලංකා රේගුවට බහාලුම් ස්කෑන් කිරීම සඳහා ස්කෑන් යන්ත්‍ර 06ක් මේ වනවිට සවිකරලායි තියෙන්නේ. මීට අදාළ එකඟතා ගිවිසුම් අත්සන් කිරීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ කාලයේ සිදුවුණා. එය ක්‍රියාත්මක කිරීම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාලයේදී සිදුවුණා. මේ අනුව නව ස්කෑන් යන්ත්‍ර 06 පරීක්‍ෂණ කටයුතු පසුගිය නොවැම්බර් 12 වැනි දින ආරම්භ කළා. එහිදී බහාලුම් පහළොස් දහසක් හෝ දින 30ක කාලයක් පරීක්‍ෂණ කටයුතු කිරීමට සැලසුම් කළා. එම ඉලක්ක මේ වනවිට සම්පූර්ණ කරගෙන තිබෙන්නේ.

ස්කෑන් යන්ත්‍රවලට අදාළ ගෙවීම

එකඟතා ගිවිසුමට අනුව එක් බහාලුමක් ඒ කියන්නේ කන්ටේනර් එකක් පරීක්ෂා කරන්න ඩොලර් දහයක් (10) ගෙවන්න ඕන. ඒ වගේම බහාලුම් සීයක් දෙසීයක් ස්කෑන් කළත් දිනකට ස්කෑන් එක්දහස් එකසීයක් වෙනුවෙන් ගෙවන්නත් ඕන. (1100) මේ අනුව එක දිනකට ඩොලර් එකොළොස් දහසක් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. එකඟතා ගිවිසුමට අනුව සෑම දිනකම මුදල් ගෙවන්න පොරොන්දුවක් තිබෙන නිසා නිවාඩු දිනවලදී හා කන්ටේනර් නොලැබෙන දිනවලත් ගෙවීම් කරන්න සිදුවෙනවා. මේ අනුව එක් මාසයකට ආසන්න වශයෙන් ඩොලර් තුන්ලක්‍ෂ තිස් තුන් දහසක් (333000) ගෙවීමට සිදුවෙනවා. මෙය අනුමත කළ නොහැකි දෙයක්. මොකද මේ තුළින් රටේ මුදල් අපතේ යාමක් සිදුවෙනවා වගේ පේනවා.

ගිවිසුම්ගත කාලය

වසර අටක කාලයක් සඳහා දිනකට ඩොලර් 11,000 බැගින් ගෙවනවා කියලා ගිවිසුම් ගතවෙලා තියෙනවා. මෙතනදී තියෙන ප්‍රශ්නය තමයි ස්කෑන් යන්ත්‍ර මගින් ස්ථිර ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කරලා ටික දිනකින් අපි ගිවිසුමෙන් ඉවත්වෙනවා නම් අපිට වසර අටටම මුදල් ගෙවන්න සිදුවෙනවා. ඒ කියන්නේ ස්ථිර ලෙස ස්කෑන් කටයුතු ආරම්භ කළ මාසයකින්, දෙකකින් ගිවිසුමෙන් ඉවත් වුණොත් අපිට අදාළ සමාගමට ඩොලර් මිලියන තිස් එකයි දශම අටක් (31.8) ගෙවන්න සිදුවෙනවා. මේක අතිවිශාල මුදලක්. මේ සියලුම මුදල් රේගුව විසින් ගෙවන්න ඕන. රේගුවට මුදල් ලැබෙන්නේ අයකර ගන්න බදු හරහා. ඒක නිසා මෙම ගිවිසුම රටක් වශයෙන් අවාසිසහගතයි.

ස්කෑන් යන්ත්‍රවලට ලැබෙන පහසුකම්

ශ්‍රී ලංකා රේගුව විසින් ජලය විදුලිය දුරකථන පහසුකම් ලබාදෙන්න ඕන. ඒ වගේම සියලුම පිරිසුදු කිරීම් කටයුතු කිරීමත් රේගුව විසින් සිදුකළ යුතු වෙනවා. දැනට ගණන් බලා තිබෙන ආකාරයට එක් මාසයකට විදුලිය වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් වැය වෙනවා. අනෙකුත් පහසුකම් ලබාදීම වෙනුවෙන් වැයවන මුදල මෙතෙක් ගණනය කරලා නැහැ. 

ස්කෑන් කටයුතු කරන ආකාරය

දිනකට ආනයන බහාලුම් හත්සිය පනහක් (750) හරහා අපනයනය බහාලුම් තුන්සිය පනහක් (350) පරීක්‍ෂා කරන බවට සඳහන් කරනවා. මෙතනදී තියෙන ප්‍රශ්නය තමයි ස්කෑන් යන්ත්‍ර සවිකරලා තියෙන තැන බහාලුම් හැසිරවීම අමාරුයි. ඒක නිසා එක් දිනකට මෙම බහාලුම් ප්‍රමාණය ස්කෑන් කිරීමට හැකියාවක් නැහැ. මේ නිසා මෙම ගිවිසුම සක්‍රීය වීමට කලින් එය සංශෝධනය කළ යුතුයි. එහෙම නැත්නම් අහෝසි කළ යුතුයි. මොකද පරීක්‍ෂණ කටයුතු අවසන්වූ පසු එය ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට එළඹෙන්න ඕන. 

ස්කෑන් කටයුතුවලදී සේවකයන්ට බලපාන සෞඛ්‍ය ගැටලු 

කන්ටේනර් රථයේ රියදුරු හා සහයකයා සිටියදී ස්කෑන් කටයුතු කරනවා. ඒක නිසා රියදුරුට හා සහායකයාට කිරණවලින් බලපෑමක් තියෙනවා කියලා පසුගියදා විරෝධතාවක් එල්ල වුණා. පස්සේ පරමාණුක බලශක්ති අධිකාරිය ඇවිත් මේ පිළිබඳව පරීක්‍ෂා කරලා තිබුණ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂා කිරීමට පෙර මේ ආකාරයේ පරීක්‍ෂණයක් කරලා රියදුරන් සහයකයන් දැනුම්වත් කරන්න තිබුණා. සිදුකළ පරීක්‍ෂණවලට අනුව රියදුරුට හා සහායකයාට හානියක් නැහැ කියලා කියලා තියෙනවා. 

අපනයන හා ආනයන කටයුතු ප්‍රමාද වීම

රේගු දෙපාර්තමේන්තුව තුළ අද කළයුතු වැඩේ අද සිදුකරනවා. අද තියෙන වැඩක් හෙටට කල්දාන්නේ නැහැ. එහෙම දෙයක් සිදුවුණත් එය ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක්. ඒත් රේගු නීති උල්ලංඝනය කරමින් බහාලුම් ආනයනය අපනයනය කරනවා නම් ඒ හරහා ප්‍රමාදයක් වෙන්න පුළුවන්. නැතිව කාටවත් විශේෂ බාධාවක් ඇතිවෙන්නේ නැහැ.

කසළ තේ ජාවාරම  

පවතින ක්‍රමවේදයන්වලට අනුව කසළ තේ විතරක් නොවෙයි නීති විරෝධී ආකාරයේ කිසිදු දෙයක් කරන්න බැහැ. තේ අපනයනය ගත්තොත් තේ පර්යේෂණ ආයතනයේ අනුමැතිය යටතේ පැමිණෙන බහාලුම් විතරයි රට ගෙනියන්න පුළුවන් වෙන්නේ. තේ පර්යේෂණ ආයතනයේ අනුමැතිය නොමැතිව තේ අපනයනය කරන්න උත්සහ කරපු අවස්ථාවල අත්අඩංගුවට ගැනීම් සිදුකරලා තියෙනවා.

නිලධාරීන්ගේ පුරප්පාඩු

රේගු නිලධාරීන්ගේ විශාල පුරප්පාඩුවක් නැහැ. ඒත් සමහර ක්ෂේත්‍රවල නිපුණතා සහිත නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. අනෙකුත් සේවාවල විශාල නිලධාරී හිඟයක් නැහැ. මොකද වාර්ෂිකව හෝ වසර දෙකකට වරක් නිලධාරීන් බඳවා ගැනීම සිදුකරනවා.

නිවැරදි ලෙස බදු අයකර ගැනීම

රේගු දෙපාර්තමේන්තුව ලෙස අපි විශ්වාස කරනවා නිවැරදි ලෙස බදු අයකර ගන්නවා කියලා. මොකද ආනයනයට අදාළව බදු අයකර ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදුවුවහොත් එය හසුකර ගැනීමේ හැකියාව තිබෙනවා. ආනයනය කළ කන්ටේනරයක් මුදාහැරියත් ඒ තුළින් නිවැරදි ලෙස බදු අයවී නොමැති නම් එය නැවත අයකර ගැනීමටත් අපිට හැකියාව තිබෙනවා.

නව රේගු ව්‍යවස්ථාව

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරය දරන කාලයේ රේගු ආඥාපනත අහෝසි කරලා අලුත් පනතක් ගේන්න සැලසුම් කළා. එම සැලසුමට විශාල විරෝධයක් එල්ල වුණා. ඒක නිසා නව රේගු ව්‍යවස්ථාවක් ගැන ඇතිවෙලා තිබුණ කතාබහ නැතිව ගියා.

මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම

බහාලුම් හරහා මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ නිසා අර්තාපල් තුළ සඟවා හෙරොයින් ගේන්න උත්සහ කළත් එය අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. ග්‍රීස් ටින්වල දාලා ගේන්න උත්සහ කළා එයත් අත්අඩංගුවට ගත්තා. සමහර ජාවාරම් කාරයෝ විවිධ උපක්‍රම තුළින් රට තුළට මත්ද්‍රව්‍ය ගේන්න උත්සහ කළත් එවැනි දේවල් කිරීමට හැකියාවක් නැහැ.

මෙවැනි දේවල් සොයා ගැනීමේ තාක්‍ෂණය

සීනි සමග කොකේන් ආවොත් තාක්‍ෂණයට අනුව සොයා ගන්න බැහැ. ඒක නිසා තමයි අපි බුද්ධි තොරතුරු ජාලයක් ඇති කරලා තියෙන්නේ. ඒක තවදුරටත් පුළුල් විය යුතුයි. හැබැයි මත්ද්‍රව්‍ය නව තාක්‍ෂණ උපකරණවලට හසුවෙන්නේ නැහැ කියලා රට තුළට ගෙන ඒමට හැකියාවක් නැහැ.

රේගු නිෂ්කාශන කටයුතු සංකීර්ණ වීම

රේගු නිෂ්කාශන කටයුතු සංකීර්ණයි කියලා මම පිළිගන්නවා. අපේ රට ගත්තම හැම තැනම දූෂණය වංචාව තියෙනවා. අද වනවිට උප්පැන්නේ ඉඳලා පාස්පෝර්ට් එක දක්වා ව්‍යාජ ලෙස සකස් කරනවා. ඒක නිසා රේගුවට ලබාදෙන ලිපි ලේඛන පවා ව්‍යාජ වෙන්න පුළුවන්. ඒක නිසා සෑම ලිපි ගොනුවක් කෙරෙහි ඉතාමත් අවදානයකින් බැලීමට සිදුවෙලා තියෙනවා. එහෙම නොකළහොත් රටට අවාසියක් වෙන්න පුළුවන්.

විශාල මුදලක් ත්‍යාග මුදල් ලෙස බෙදාගන්නා බවට නැගෙන චෝදනාව

ඒක වැරදි ආකල්පයක්. අතැම් නිලධාරීන් හා වංචනිකයන් සමාජයට වැරදි මතයක් සමාජගත කරලා තියෙනවා. රේගු ආඥාපනත ගත්තම වැරදිකරුවන්ට දඬුවම් කරන ක්‍රම‘වේද හඳුන්වා දීලා තියෙනවා. ජාවාරම්කරුවන් වංචනිකයන් රේගු ආඥාපනතට බයයි. ඒක නිසාම මේක අහෝසි කරලා අලුත් එකක් හදාගන්න උත්සහ කළා. නීති විරෝධී කටයුතු වෙනුවෙන් අයකර ගන්නා මුදලින් හෝ දඩ මුදල් ලෙස අය කරගත්ත මුදලින් යම් කොටසක් නිලධාරීන්ට බෙදනවා. ඒක නිලධාරීන් දිරිමත් කිරීමට කරන දෙයක්. මෙම මුදල නිලධාරීන්ට ලැබෙන්නේ රජයට අහිමිවෙන්න ගිය මුදලක් රජයට අයකර දීම තුළින්. මේ ගැන ජාවාරම්කරුවන්, දූෂිතයන් රටේ ජනතාවට වැරදි මතයක් දීලා තිබෙනවා.

Post a Comment

DailyMotion

Powered by Blogger.