ජීවිතය දිනීම සඳහා පළමුවෙන් ම තමා සිදු කරන ක්‍රියාවන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. ඒ සඳහා හොඳ සිහියෙන් සිටීම අනිවාර්යය වේ. 'සිහිය' අපේ ජීවිතය නිසි මඟ ගෙන යාමට අවශ්‍ය වන්නකි.

බෞද්ධ දර්ශනයේ ද සිහිය පිළිබඳ බොහෝ දෑ කියැවේ. බුදුරජාණන් වහන්සේ ද යහපත් සිහිය පවත්වා ගැනීමෙන් ජීවිතය සාර්ථක කරගැනීම පිළිබඳ දේශනා කොට ඇත.

පුද්ගලයකු විසින් අනෙක් සියලු දේ සිදු කිරීමට පෙර සිහිය මනාව පිහිටුවා ගැනීම වැදගත් ය. මෙය ලොකු කුඩා කාට වුවත් කුමන කාර්යයක නිරත වුවත් වැදගත් වන්නකි. කුමන හෝ අත්වැරැදීමක් සිදු වූ විටෙක 'සිහියෙන් වැඩ කරන්නකො ළමයෝ..' යැයි වැඩිහිටියන් ඔබටත් පවසා ඇති. අප බොහෝ දෙනකුට යම් යම් වැරැදීම් සිදු වන්නේ තමා කරන කාර්යය පිළිබඳ මනා සිහියක් පිහිටුවා නොගැනීම නිසයි.

තමා සිදු කරන කාර්යය කල්පනාකාරීව සිහියෙන් යුතුව ඉටු කිරීමෙන් එය සාර්ථකව අතපසුවීම් වලින් තොරව සිදු කළ හැකි වේ. මෙය සාර්ථකත්වයට නිතැතින් ම මඟ පාදන්නකි.

එක්තරා මහත්මයෙක් සවස් වරුවේ පන්සලට ගොඩවැදුණේ හාමුදුරුවන් සමඟ කතාබහ කිරීමේ අරමුණ ඇතිවයි. නොදැනුවත්ව ම කාලය ගෙවී ගියේ හවස බුද්ධ පූජාවටත් මොහොත ළං වෙමිනි. හාමුදුරුවන් ද අසුනෙන් නැඟී සිටියේ බුදු පුදට යාම සඳහා ය. මහත්මයා ද නැඟිට පිටත් වීම සඳහා තමාගේ කුඩය සොයා වටපිට බැලී ය.

'මොකක්ද මහත්තයෝ බැලුවේ..' හාමුදුරුවෝ මහත්මයාගෙන් විමසූහ.

'මගේ කුඩේ..'

'කුඩයක් නැත්නම් මම කුඩයක් දෙන්නම්.. ආපු එකේ බුද්ධ පූජාවටත් ඉඳලම යන්න..' හාමුදුරුවන්ගේ අණට මහත්මයාට කීකරු වන්නට සිදු විය.

පන්සිල් ගන්නා අතරතුර තුන්වැනි සිල්පදය සමාදන් වන විට තමන් කුඩය දමා ආවේ කොතැනදැයි මහත්මයාට මතක් විය. (බෞද්ධයන් සමාදන් වන සිල්පද පහෙන් තුන්වැනි සිල්පදය වන්නේ වැරැදි කාම සේවනයේ නොයෙදෙමි යන පොරොන්දුවයි)

මෙහිදී මහත්මයා කලින් නිසි සිහියෙන් නොසිටි නිසා තමාගේ කුඩය අමතක කරගෙන ඇති අතර නිසි සිහියෙන් යුතුව පන්සිල් ගැනීම නිසා මතකය ලැබී ඇති බව පැහැදිලි වේ. පන්සිල් ගන්නා විට ඔහු වෙනත් සිහියකින් සිටිමින් පන්සිල් ගත්තා නම් තමා පවසන සිල්පද පිළිබඳ අවධානයක් නැතිවේ.

මේ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමේ ප්‍රාථමික අවස්ථාවකි. සිහිය ගැන කියැවෙන ප්‍රසිද්ධ සෙන් කතාවක් ද වේ.

සිහියේ වැදගත්කම ගැන කතා කරන්නට ප්‍රසිද්ධ හිමි නමක් හමුවන්නට එක්තරා ප¼ඩිවරයෙක් පැමිණ ඇත. එම පඬිවරයා හිමි නම සමඟ සිහිය ගැන කතා කරන විට හිමිනම ඔහුගෙන් විමසා ඇත්තේ 'ඔබ මෙම කුටියට ඇතුළුවන විට කුඩය තැබුවේ ඔබේ පාවහන් යුවළට කවර පැත්තෙන් ද? ' යන්නයි. එවිට පඬිවරයා සිහිය ගැන කතා කිරීම පසුවට කල් දමා ඇත.

ඉන් පැවසෙන්නේ ද සිහියෙන් කටයුතු කරන අයකුට වැරැදීම් මෙන්ම අමතක වීම් සිදු වන්නේ ඉතාමත් අඩුවෙන් බවයි.

සිහිය යනු මේ මොහොතේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ඇති හැකියාවයි. සතිය කියා හැඳින්වෙන්නේ ද මෙම හැකියාවම ය. මෙහිදී දැනගත යුතු වැදගත් දෙයක් වන්නේ සිතුවිලි පැමිණෙන්නේ එකක් පසුපස එකක් ලෙසට වන බවයි. අප එකවර කටයුතු කිහිපයක් කරන බැව් පැවසුවාට සිදුවන්නේ වේගයෙන් ඊට අදාළ සිතුවිලි ක්‍රියාත්මක වීමයි.

දුම්වැටිය උරන තැනැත්තා දුටු විට මගේ සිතේ ඇති වුණේ තරහක්. එවිට තිබුණේ තරහ සිතක්.

'මට තරහ යනවා..' එවිට තිබුණේ තරහ දැනගත් සිතයි. නමුත් තරහ දැනගත් සිතට වඩා තරහ සිත ප්‍රබල වූ නිසා යළිත් තරහ සිත මතු විය.

උපදෙස්
කළමනාකරණ උපදේශක
දීපාල් සූරියආරච්චි

Post a Comment

DailyMotion

Powered by Blogger.