පෑලියගොඩ නව තොග සහ සිල්ලර එළවළු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකර ජනතා අයිතියට පත් කරන ලෙසට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දි තිබේ.

දැනට මෙම නව මැනිං මාර්කට් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වේගවත් කර ඇති අතර මෙම වසරේ මැද භාගය වනවිට එය ජනතා අයිතියට පත් කිරීමට හැකි වෙතැයි නාගරික සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වෙයි.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසඳුමක් වශයෙන් හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරිමට 2015 ට පෙර පැවති ආණ්ඩුව කටයුතු කළේ වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  උපදෙස් පරිදිය.

මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදීම කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කළේද  එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.

එම මූලික සැලසුම් අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2016 වර්ෂයේ දි ආරම්භ කෙරිණි.

මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2කට සීමා වි  තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 15ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්වෙයි.

වෙළඳසැල් 1,142ක්, වාහන විශාල ප‍්‍රමාණයක් නැවැත්විමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, කූල්රූම් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විත විම විශේෂත්වයකි. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප‍්‍රියත් බන්දු වික‍්‍රම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, එහි අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

Post a Comment

DailyMotion

Powered by Blogger.