එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී ශ්‍රී ලංකා රජය මීට පෙර ලබාගත් ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් ලබා ගැනීම පිළිබඳව තමන් කනගාටු වන බවත් නව ප්‍රවේශය මගින් ශ්‍රී ලංකාවේ  ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරියට ගමන් කිරීමේ ප්‍රයත්නයන් වලක්වාලීමේ අවදානමක් ඇති  බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් සඳහන් කළාය.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික යාවත්කාලීනය කරමින් ඇය මේ බව අද (27දා) ජිනීවා නුවරදී සඳහන් කළාය.


ශ්‍රී ලංකාවේ පවතින ගැටලු විසඳීම සඳහා තවත් කොමිෂන් සභාපත් පත්කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දක්වමින් ඇය සඳහන් කළේ මීට පෙරද ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කළද ඒවා ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට අපොහෝසත් වී ඇති බවත් තවත් කොමිෂන් සභාවක් පත්කිරිම මගින් ගැටලු සඳහා විසඳුමක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඇය පැවැසීය.


ශ්‍රී ලංකාවේ සිවිල් කටයුතු සඳහා ආරක්ෂක අංශ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම පිළිබඳව වාර්තාවන කරුණු පිළිබඳව තමන් කනගාටුවන බවත් ඇය සඳහන් කළාය.


“රජය සිය සියලු ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු අතර සියලු ජන කොටස්වල, විශේෂයෙන් සුළු ජාතීන්ගේ අවශ්‍යතා පිළිගෙන ඒවාට පිළියම් යෙදිය යුතුයි. පසුගිය වසර කිහිපය තුළ ලබා ඇති ධනාත්මක කරුණු සුරැකීමට හා  ඒවා ඉදිරියට ගෙන යන ලෙස ට මම රජයෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලයට දේශපාලන හා සම්පත් සහාය ලබා දෙන බවට සහතික වන ලෙස මම රජය දිරිගන්වමි. සියලු ජන කොටස්වලින් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය හා විසඳුම් ලැබිය යුතුයි.


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශක්තිමත් කරන ලද ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන එහි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ප්‍රධාන කුළුණකි. සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යයට ඇති ඉඩ ආරක්ෂා කළ යුතුයි. එබැවින් ආරක්ෂක අමාත්‍යාංශය හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් යටතේ සිවිල් කටයුතු ගෙනයාමේ මෑත කාලීන ප්‍රවණතාව සහ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ වින්දිතයින්ට සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් පිළිබඳ වාර්තාවන නව කරුණු ගැන මම කනස්සල්ලට පත්ව සිටිමි. දෙමළ හා මුස්ලිම් යන සුළු ජාතීන්ට එරෙහිව වෙනස් කොට සැලකීම්,  ආරක්ෂක ප්‍රතිපත්ති, වෛරී ප්‍රකාශ වැඩිවෙමින් පවතී.


ශ්‍රී ලංකාව තවමත් අතීතයේ සිදු වූ  ගැටුම් සම්බන්ධයෙන් දුර්විපාක නොලබා සිටීම මෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණයන්ද සිදුකර නොමැත. අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ අඛණ්ඩව පවතින පද්ධතිමය බාධක සැබෑ යුක්තියට බාධාවක් ලෙස පවතී.


අතීතයේ දී දේශීය ක්‍රියාදාමයන් වගවීම පිළිබඳව පිළිතුරු ලබාදීමට අපොහොසත් වී ඇති අතර තවත් විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම මෙම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස නොකරමි. වින්දිතයින්ට තවමත් යුක්තිය අහිමි වී ඇති අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අතීත රටාවන් නැවත ඇති නොවන බවට සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට සහතිකයක් නොමැත.”

Post a Comment

DailyMotion

Powered by Blogger.