කාබනික කෘෂිකර්මය-Organic Agriculture

 කාබනික ගොවිතැන

කාබනික ගොවිතැන යනුවෙන් අදහස් කරනුයේ ගොවිපල ජීවියකු ලෙස සලකා පරිසර  හිතකාමී ආර්ථිකව තිරසාර කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතියක් නිර්මාණය කිරීම සදහා එළඹ ගත් හා අරමුණු කරගත් ඒකාබද්ධ කෘෂිකාර්මික ක්‍රමයකි.

මෙහි මුලික සිද්ධාන්තය වනුයේ නිරෝගී මෙන්ම සජීවී පසක් නිර්මාණය කර ගැනීම තුලින් නිරෝගී බෝග වගාවක් බිහිකර ගැනීමයි.

1960 දශකයේ සිට කාබනික කෘෂිකර්මාන්තය පිළිබදවිශේෂ නැඹුරුතාවයක් දැක්වීමට බොහෝ සේ  ඉවහල් වුයේ කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණය වීමත් කෘමිනාශක අවශේෂ ආහාරවල තැන්පත් වීම සෞඛයට ගැටළු රැසකට හේතු වීමත්, පරිසර දුෂණය බොහෝ සෙයින් සිදුවීමත්ය.

අංක 01 කාබනික කෘෂිකම් මුලදර්මානුකුලව වගාකල මිශ්‍ර එළවළු වගාව

කාබනික ගොවිතැනේදී භාවිතා කෙරෙනුයේ

v  බෝග මාරුව

v  සත්ව පොහොර භාවිතය

v  රනිල ශාක භාවිතය

v  බෝග අවශේෂ භාවිතයෙන් පලිබෝධ පාලනය

v  ජෛව ක්‍රම මගින් වල් පැළෑටි පාලනය සිදු කෙරේ

කාබනික ගොවිතැනේදී භාවිතා නොකරෙනුයේ

v  කෘත්‍රිම විෂ සහිත පලිබෝධ නාශක

v  කෘත්‍රිම රසායනික පොහොර

v  රසායනික වර්ධක හෝමෝන

v  සත්ත්ව ආහාර වලට එක්කෙරෙන කෘත්‍රිම ද්‍රව්‍ය පරිභෝජනය කළ සතුන්ගේ අපද්‍රව්‍ය

කාබනික ගොවිතැනේදී බෝග පෝෂණය

මෙහිදී කෙරෙනුයේ පසෙහි ඇති ජීවි අංග පෝෂණය කිරීම මගින් උසස් පසක් නිර්මාණය කිරීමයි. ක්ෂුද්‍ර ජීවීන් භාවිතයෙන් ශාකයට ලබා ගත හැකි පෝෂක මට්ටම වැඩි කරයි. එමෙන්ම කාබනික ද්‍රව්‍ය මගින් පසේ ව්‍යුහය දියුණු කරන අතර ජලය රදා ගැනීම මේ නිසා වැඩි වේ.

කාබනික කෘෂිකර්මයේ ප්‍රධාන මුලධර්ම

v  නිපදවනු ලබන ආහාර පෝෂණ ගුණයෙන් ඉහල විය යුතු අතර ඒවා ප්‍රමාණවත් තරම් නිපදවීම අවශ්‍යයි.

v  සියලු ස්වභාවික පද්ධති සහ චක්‍රීය ක්‍රියාවන් පවත්වා ගත යුතු අතර එමගින් ශාක, සතුන්, පාංශු ජීවින්, ක්ෂුද්‍ර ජීවින් හා පස වැඩි දියුණු විය යුතුය.

v  පසෙහි සාරවත් බව දිගු කාලීනව පවත්වා ගත යුතුය

v  හැකි තාක් දුරට නැවත භාවිතා කළ හැකි දිරා පත් කල හැකි ද්‍රව්‍ය භාවිතා කල යුතුය.

v  භාවිතා කරන ද්‍රව්‍ය නැවත භාවිතා කල හැකි ගොව්පල තුල හෝ ඉන් පිටත ප්‍රතිචක්‍රීකරණය කල හැකි ඒවා විය යුතුය.

v  ගොවිපල සතුන් හට ඔවුන්ගේ මුලික හැසිරීම් රටාවන්ට බාධා නොවන සේ නිදහසේ ජිවත් වීමට ඉඩ දිය යුතුය

v  කාබනික ගොවිතැනේදී සතුන්ගේ සුභ සාධනය ඉතා වැදගත් කටුත්තක් සේ සැලකේ. මෙහිදී සතුන් සහ බෝග අතර ගැටුම් නොවන්නටත් එකිනෙක අතර අන්තර් සබදතාවයක් පවත්වා ගැනීමටත් වග බලා ගත යුතුය.

v  සත්ත්ව ආහාර කාබනික විය යුතු අතර හැකිතාක් දුරට ගොවිපල තුලින්ම සපයා ගත යුතුය. මෙමගින් අවශ්‍ය සත්ත්ව පොහොර හා අනෙකුත් සත්ව නිෂ්පාදන ලැබේ

v  ගොවිපල කටුතුවලදී සියලුම ආකාරයේ දුෂණයක් අවම විය යුතුය (පස දුෂණය, ජල දුෂණය)

v  ගොවිපල හා අවට පරිසරය තුල ජාන විවිධත්ත්වය ආරක්ෂා විය යුතුය

v  ගොවිපල සේවකයන්ගේ නීතිමය අයිතීන් සුරැකෙන ලෙස හා ඔවුන් සෑහීමකට පත් වන ලෙස කටයුතු කල යුතුය.

v  ගොවිපල හේතුවෙන් කිසිදු පාරිසරික හෝ සමාජීය ප්‍රශ්නයක් ඇති නොවීමට වග බලා ගත යුතුය

කාබනික ගොවිතැනේදී පලිබෝධ පාලනය

කාබනික ගොවිතැනේදී සිදු කරනු ලබන ප්‍රාථමික පියවර වනුයේ බෝගයට ඉහල පෝෂණයක් ලබා දී පලිබෝධ හානිය වැලක්වීමට උත්සහ කිරීමයි

v  ආවරණ බෝග සිටවීම

v  අඛණ්ඩ බෝග මාරු කිරීම

v  පාංශු ජිවින්ගේ විවිධත්ත්වය ආරක්ෂා කිරීම සහ හිතකර කෘමින් හා පක්ෂීන් මගින් කෘමින්  මර්ධනය වීමට ඉඩ හැරීම

v  පලිබෝධ ගහණය අසමතුලිත වූ විට පමණක් කෘමි පරපෝෂිතයන් භාවිතය ඔවුන් බෝ වීමට ඇති ඉඩකඩ ඇහිරීම, උගුල් හා බාධකයන් භාවිතය

v  මේවා සියල්ලම අසාර්ථක වූ විට පමණක් කාබනික පලිබෝධ නාශක භාවිතා කරනු ලැබේ

උදා: කොහොඹ, දුංකොල, කහඹිලියා, ඉඟුරු, මිරිස්, ගම්මිරිස්, සුදුලුණු යනාදිය යොදා ගත හැකිය

කාබනික එළවළු නිෂ්පාදනය

කාබනික එළවළු වලින් සාර්ථක අස්වනු ලබා ගත හැකිද ?

v  සැබවින්ම ඉහළ ගුණාත්මයෙන් යුත් අස්වනු ලබාගත හැක

v  සත්ත්ව පොහොර (ගොම පොහොර, කුකුල් පොහොර) යොදා කරන ලද අත්හදා බැලීම්වලදී  බෝංචි, වම්බටු, තක්කාලි සහ ගෝවා යන එළවළු බෝග රසායනික පොහොර යොදා ලබාගත් අස්වනු වලට ආසන්න වශයෙන් සමාන හෝ ඊට සැලකිය යුතු ප්‍රමාණ වලින් වැඩි අස්වනු ලැබී ඇත.

v  රසායනික පොහොර යොදා ලබාගත් අස්වැන්නට සංසන්දනාත්මකව ප්‍රතිශතයන් පහත දැක්වේ


බෝග වර්ගය

රසායනික පොහොර යොදා ලබාගත් අස්වැන්නේ ප්‍රතිශතයක් ලෙස

බෝංචි

වම්බටු

තක්කාලි

ගෝවා

90

104

132

99


මෙම අස්වනු  ලබා ගැනීමේදී කිසිදු රසායනික පළිබෝධ නාශකයක් භාවිතා කර නොමැති අතර ශාක නිස්සාරක පමණක් භාවිතා කල හැකිය.

කාබනික එළවළු වගාවේ දී කාබනික පොහොර  භාවිතය

සිදුකර ඇති අත්හදා බැලීම් වලට අනුව පහත සදහන් ප්‍රමාණ  යෙදීම සුදුසු වේ. කොම්පෝස්ට් පොහොර හෙක්ටයාරයකට ටොන් 40 ක්, ගොම පොහොර හෙක්ටයාරයකට ටොන් 30 ක් හා කුකුල් පොහොර හෙක්ටයාරයකට ටොන් 02  ක් යෙදීම සුදුසු වේ.

ඉහත ප්‍රමාණයන්ගෙන් යෙදීමෙන් ප්‍රශස්ථ අස්වැන්නක් ලබාගත හැකිය. එහෙත් සත්ව පොහොර පහසුවෙන් සොයා ගැනීමට හැකි ගොවි මහතුන්ට මෙම වගා ක්‍රමය වඩාත් සුදුසුය. නිර්දේශිත කාබනික පොහොර ප්‍රමාණයන් පහත දක්වා ඇත.


පොහොර වර්ගය


පොහොර ප්‍රමාණය හෙක්ටයාරයකට  ටොන්

යොදන අවස්ථාව

ගොම පොහොර


කුකුල් පොහොර


උසස් තත්වයේ කොම්පෝස්ට්


30

(වර්ග මීටරයකට කී. ග්‍රෑම් 3)

20

(වර්ග මීටරයකට කී. ග්‍රෑම් 2)

40

(වර්ග මීටරයකට කී. ග්‍රෑම් 4)


වගා කිරීමට දින 2-3 කට පෙර


බෝග වගාවට දින 10 කට පෙර


බෝග වගාවට දින 2-3 කට පෙර



-          ඉහත සදහන් ප්‍රමාණයන් හොදින් පසට මිශ්‍ර කර, හොද ජල සම්පාදන තත්ත්ව යටතේ වගා කල යුතුය.

-          ඉහත සදහන් කල ප්‍රමාණයෙන් හරි අඩක් මතුපිට පොහොර ලෙස භාවිතා කල හැක. නමුත් කුකුල් පොහොර මතුපිට පොහොර ලෙස යොදා ගැනීමට නිර්දේශ නොකරේ.

අංක 02: කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේදී මිශ්‍ර කරන එක් අවස්ථාවක්

දිගු කාලීනව කාබනික පොහොර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පහසු මගක්

කාබනික පොහොර නිර්දේශ සැම කන්නයකදීමැ පසට ලබාදිය යුතුය. සත්ත්ව පොහොර අවශ්‍ය ප්‍රමාණයන් පහසුවෙන් සොයා ගැනීමට අපහසු නිසා මේ සදහා ඉහළ ගුණාත්මයෙන් යුත් පොහොර භාවිතා කල හැක.

ඉහළ ගුණාත්මයෙන් යුත් කොම්පෝස්ට් පොහොර සකසා ගැනීම

-          ඉහළ පෝෂක අගයක් තිබෙන ශාක හා සත්ව කොටස් කොම්පෝස්ට් පොහොර නිපදවීමට යොදා ගැනීමෙන් පෝෂක අගයන් වැඩි කොම්පෝස්ට් පොහොර නිපදවා ගත හැකිය.

-          කාබනික පොහොර අකාර 3 කි.

-   කොම්පෝස්ට් පොහොර

-   වරමි කොම්පෝස්ට්

-   කාබනික දියර පොහොර

කොම්පෝස්ට් පොහොර නිපදවීම

මේ සදහා පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය කිහිපයක් පහත දැක්වේ.

-          ග්ලිරිසීඩයා

-          වල් සුරියකාන්ත

-          කැප්පෙටියා

-          එරබදු

-          ඉපිල් ඉපිල්

-          පිදුරු සහ වෙනත් බෝග අවශේෂ

සාදන ක්‍රමය

-          කොම්පෝස්ට් පොහොර නිපදවීමේදී විවිධ නිෂ්පාදන ක්‍රම භාවිතා කළ හැක. එනම්, ගොඩ ක්‍රමය, වල ක්‍රමය, බැරල් ක්‍රමය, කෝටු රාමු ක්‍රමයයි.

-          සුදුසුම ක්‍රමය ගොඩ ක්‍රමය වේ. කොම්පෝස්ට් ගොඩක උස සහ පළල මීටර් 1 ක් වන අතර දිග අවශ්‍ය ප්‍රමාණයට යොදාගත හැක.

-          යෙදිය යුතු ද්‍රව්‍ය අනුපාතයන් මෙසේය

අංක 03: ක්ෂේත්‍රයේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ නිලධාරීන් දැනුවත් කරන එක් අවස්ථාවක්

අමුද්‍රුවය

ප්‍රමාණය

අමු ශාක හා ලපටි කොටස්

වියළි කොල, කොල රොඩු

සත්ව පොහොර (ගව, කුකුල්)

1/3

1/3

1/3



අමු ශාක පත්‍ර හා ලපටි කොටස් සදහා ග්ලිරිසීඩියා සහ නත්තසුරිය සම සමව යෙදීමෙන් ඉහළ ගුණාත්මයෙන් යුත් කොම්පෝස්ට් සාදා ගත හැක.

අංක 04: ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව කාබනික පොහොර නිෂ්පාදනය කරන එක අවස්ථාවක්

වර්මි කොම්පෝස්ට්

-      මේ සඳහා ගැඩවිලි පණුවන් බෝ කර ගත යුතු වේ.

-      සුදුසු මාධ්‍යයන්

1.      අමු කොල, කැබලි කරන ලද වියළි තෘණ මිශ්‍රණය (10 : 03)

2.      අමු ගොම, මුළුතැන්ගෙයි ඉවතලන ද්‍රව්‍ය මිශ්‍රණය (10 : 03)

අදාල රුපය

සාදන ක්‍රමය

-      රූප සටහනේ පෙන්වා ඇති පරිදි වර්මි කොම්පෝස්ට් සෑදීම සඳහා භාජනය පිළියෙල කරගත යුතුය.

-      හොඳින් දිරාපත් වූ පසු ගැඩවිලන් සහිත මතුපිට පස් තට්ටුව ඉතිරි වන සේ කොම්පෝසිට් ඉවත් කර ගන්න.

-      නැවත කාබනික ද්‍රව්‍ය පුරවන්න‍.

-      වැඩි ජලය ඉවත් කිරීම සඳහා කරාමය නිතරම ඇර තබන්න‍.

-      ඉහත ආකාරයට මාස 1 ½ කට පමණ වතාවක් කොම්පෝස්ට් නිපදවා ගත හැක.

-      වර්මි කොම්පෝස්ට් නිපදවා ගැනීම සඳහා ගැඩවිලි පණුවන් 25ක් පමණ යොදා ගැනීම සෑහේ. ( පණුවන් සහිත මාධ්‍යයන් හා තොරතුරු පත්‍රිකාව ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් ලබාගත හැක.)

කාබනික දියර පොහොර

-      ශාක පත්‍ර අග්‍රස්ථ කොටස් හා සත්ව පොහොරවල ඇති පෝෂක පදාර්ථ ජලයේ යොදා දියකර ලබා ගන්නා නිස්සාරක පත්‍ර මතට ඉසීමෙන් වගාවල වර්ධනය ඉතා හොඳින් සිදු වේ.

-      මේ මගින් බෝග වලට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ලබා දීමේ හැකියාවක් ඇත‍.

සාදන ක්‍රමය

-      ඉහළ ශාක  පෝෂක අගයෙන් යුත් ශාක පත්‍ර අග්‍රස්ථ කොටස් ( ග්ලිසීඩියා, නත්තසූරිය) ග්‍රෑම් 100ක් හෝ

-      සත්ත්ව පොහාර ග්‍රෑම් 500ක් හෝ

-      ජලය ලිටරයක් සමඟ භාජනයක දමා මාස 02 ක් වසා තබා එම දියර රෙදි කඩකින් පෙරා බෝග මතට ඉසිය හැක.

ගැඩවිල් දියර පොහොර

-      කාබනික දියර පොහොරක් ලෙස ගැඩවිල් දියර පොහොර සකසා ගත හැකිය‍. එය පලිබෝධනාශක‍යක් ලෙසද භාවිතා කළ හැක.

-      දියර පොහොර සකසා ගැනීම සඳහා සිමෙන්ති,  මැටි, බෙලෙක්, ප්ලාස්ටික් වැනි ඕනෑම ද්‍රව්‍යයකින් සෑදූ භාජනයක් භාවිතා කළ හැක.

අංක 05: ගැඩවිල් දියර පොහොර නිෂ්පාදන බදුන

ගැඩවිල් පොහොර එකතු කර ගැනීම

මෙසේ සකස් කළ බඳුනේ කරාමය විවෘත කර හොඳින් ජලයෙන් තෙත් කළ යුතුයි. දින 15ක් යන තෙක් කරාමය විවෘතව තබන අතර 16 වන දිනයේදී කරාමය වසා දමා මෙම බඳුනට ඉහළින් මැටි මුට්ටියක් සවි කළ යුතුයි.

-      රූපසටහනේ ආකාරයට බඳුන පතුල කරාමයක් සවි කළ යුතුය.

-      ගැඩවිල් දියර එකතු කර ගැනීම සඳහා පොලොව මට්ටමේ සිට ඉහල මට්ටමක බඳුන තබාගත යුතුයි.

-      ගඩොල් කැබලි තට්ටුව හා රළු වැලි තට්ටුව පෙරණයක් ලෙස ක්‍රියා කර පිරිසිදු කර පිරිසිදු දියරයක් එකතු කර ගැනීමට උදවු වේ.

-      මතුපිට පස් ත‍ට්ටුව මත අමු ගොම තට්ටුව එකතු කළ යුතුයි.

-      සාමාන්‍යයෙන් ලීටර් 250 බඳුනක් සඳහා ලීටර් 5 ක පමණ ජලය (බඳුනේ පරිමාවෙන් 1/50 පමණ) විසුරුමක් ලෙස එක් රැයක් පුරා යෙදිය යුතය.

-      ඊලඟ දින උදෑසන කරාම විවෘත කර ගැඩවිල් දියරය එක් කර ගත යුතුයි.

-      මෙසේ දිනපතා සති 5-6 යනතුරු  දියරය එකතු කර ගත හැකිය.

-      පසුව ගැඩවිල් පොහොර (වර්මි කොම්පෝස්ට්)  ඉවතට ගන්නා ආකාරයටම මතුපිට පස් තට්ටුව යන තෙක් මෙහි ඇති පොහොර ඉවතට ගත යුතුය.

-      ගැඩවිලන් නැවත බඳුනට එක් කර අමු ගොම ද දමා බඳුන පුරවා ගත යුතුය‍.

-      මෙම බඳුන මාස 10-12 යනවිට සම්පූරණයෙන් ඉවත් කර මුලින් සකසා ගත් ආකාරයටම නැවත සකස් කර ගත යුතුය.

ගැඩවිල් පොහොර භාවිතා කිරීම

-      මෙහිදි ගැඩවිල් දියර පොහොර ලීටර් 1කට ජලය ලීටර් 1ක් දමා මිශ්‍ර කර ශාකවලට යෙදිය යුතුය.‍

-      ගැඩවිල් දියරයට 10% ක ගව මුත්‍රා එක් කිරීම මගින් සාරථක පලිබෝධනාශකයක් සාදා ගත හැකිය.

ගැඩවිල් දියර පොහොරවල පෝෂක අගයන්

PH  අගය    -  7.5

EC අගය    -  0.28 ඩෙසිසීමන්/ මීටර්

සම්පූර්ණ නයිට්‍රජන් ප්‍රමාණය -0.01%

ශාකයට උරාගත හැකි පොස්පරස් ප්‍රමාණය -1.05

පොටෑසියම්  - 25 (මිලියනයට කොටස්)

මූලාශ්‍රය :- පොල් පර්යේෂණ ආයතනය, ලුණුවිල

පසට කාබනික පොහොර යෙදීමට අමතරව පසේ ගුණාත්මකබාවය වැඩි දියුණු කිරීමට අර්ධ වශයෙන් පුළුස්සා ගත් දහයියා අඟුරු ටොන් 02 ක් පමණ හෙක්ටයාර 1 කට යෙදීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. එක් වලකට නම් පුළුස්සා ගත් දහයියා අඟුරු ග්‍රෑම් 50 සෑහේ

පළිබෝධ පාලනය

v  පළිබෝධ මර්ධනය සඳහා බෝග මිශ්‍රව වගා කිරීම වඩාත් සුදුසුය.‍

v  පළිබෝධ පාලනය සඳහා කෘත්‍රීම කෘෂි රසායනික භාවිතා කල නොහැක.

v  කොහොඹ ඇට නිස්සාරනය ඉසීම මගින් සාර්ථක පළිබෝධ පාලනයක් සිදු කල හැක.

කොහොඹ ඇට නිස්සාරනය

සාදන ක්‍රමය හා භාවිතය

-      කොහොඹ ඇට ග්‍රෑම් 50 ක් ලබා ගන්න.

-      කොහොඹ ඇට සියුම් ලෙස කුඩු කර ගන්න.

-      රෙදි කඩකින් පෙරා ගන්න.

-      එම දියර දැඩි හිරු රශ්මිය නොමැති උදෑසන හෝ සවස් කාලයේ බෝග මතට ඉසින්න‍. අවශ්‍ය වුවහොත් සති 02 කින් පසු නැවත ඉසින්න

කාබනික පොහොර නොකඩවා ක්ෂේත්‍රයට යෙදිමෙන් පසට කිසිඳු හානියක් නොමැත.‍ එහෙත් වගා බිමක අවම වශයෙන් වසරකට වරක්වත් පස් සාම්පලයක් පරික්ෂා කිරීමෙන් පසේ තත්ත්වය පහසුවෙන් හඳුනා ගත හැක.

වල් මර්ධනය

-      මේ සඳහා කාබනික එළවළු වගාවේදී පහත සඳහන් ක්‍රම භාවිතා කල හැක.

  •          අතින් ගැලවීම
  •      යාන්ත්‍රික ක්‍රම
  •      වසුන් යෙදීම

                  වසුන් යෙදීම සඳහා    - වියළි තෘණ

                                                  - ජීව වසුන් භාවිතා කල හැක.

                                                   (ජීව වසුන් සඳහා මුකුණුවැන්න

                                                   වැනි පලා වර්ග භාවිතා කල හැක.)

කාබනික ගොවිතැනට අදාල සම්මත නීති රීති

පිළිගත් වෙළඳපොලක හෝ විදේශවලට අලෙවි කරන කාබනික නිෂ්පාදන සඳහා ගුණාත්මකබාවය  තහවුරු   කිරීමට ප්‍රමිතිකරණයක් අවශ්‍ය වේ. ඒ සඳහා සම්මතයන් ඇත.

දැනට භාවිතා කෙරෙනුයේ යිෆෝම් (IFOAM) නැමැති ජාත්‍යන්තර ආයතනය මගින් පනවා ඇති නීති මාලාවකි‍. මෙ‍මගින් කාබනික ගොවිතැනට අදාල  උපදෙස් හා නීති  රීති නිකුත් කෙරේ.

කාබනික ගොවිතැන සම්බන්ද ජාත්‍යන්තර ප්‍රමිතීන්

  •   අයිෆෝම් (IFOAM) යන කෙටි නමින්  හැඳින්වෙන International Federation for Organic Agriculture Movement  නම් ජාත්‍යන්තර ආයතනය මගින් ඇති ප්‍රමිතීන් සම්මත ප්‍රමිතීන් ලෙස සලකනු ලැබේ‍.
  •   මෙම ආයතනයේ ප්‍රමිතීන් එක් එක් රටවලට ඔබින අයුරින් ප්‍රමිතීන් සකස් කර ගැනීමට උපකාරී‍ වේ. ඒ  අනුව  බොහෝ රටවල ප්‍රමිතින් සකස් කර කාබනික නිෂ්පාදන සඳහා සංකේත නිකුත් කෙරේ.
  •  සංකේත මගින් නිෂ්පාදන සහතික කර ඒවා කාබනික නිෂ්පාදන බවට තහවුරු  කෙරේ.
  •  ප්‍රමිතිකරණය සඳහා අනුගමනය කළයුතු සම්මත වත්පිළිවෙත් කීපයක් මෙසේය.
-      මුලින් ම රසායනික පෙහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය වලින්  තෙර ඉඩමක් තෝරා ගත යුතුය.
-      වගාව සඳහා කෘෂි රසායන භාවිතා කළ ඉඩමක් නම් අවම වශයෙන් කන්න 06 කට පසුව              කාබනික වගාවට සුදුසු තත්ත්වයට පත් වේ. මෙය පරිවර්තන කාලය වශයෙන් හැඳින්වේ.
-      කාබනික වගාවට අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය තම කාබනික ගොවිපලෙන් හෝ කාබනිකව          වගාකළ ‍ගොවිපලකින් හො ලබාගත යුතුය.
-      පාංශු පෝෂකත්වය දියුණු කිරීම සඳහා කාබනික පොහොර ලබාගත යුත්තේ තම ගොවිපල           තුළින්මය. පිටතින් ගෙන එන්නේ නම් කාබනික ගොවිපලකින් විය යුතුය.

අංක 07 සහ අංක 08 රූපයන්

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement