මුං වගාව සඳහා කෘෂි උපදෙස් ලබාගන්න

 මුං වගාව

උසස් ගුණාත්මයෙන් යුත් ශාකමය ප්‍රෝටීන ප්‍රභවයක් සහ විටමින් හා ඛනිජ අඩංගු පෝෂ්‍යදායී ආහාරයක් මෙන්ම ලදරු ආහාර නිෂ්පාදනයන්හි සංඝටකයක් ලෙසද මුං ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැද කලාපයන්හි වර්ෂා පෝෂිත උස් බිම් වල, යල කන්නයේ කුඹුරු ඉඩම් වල සහ ඉපනැල්ලේ වගාව (අතරමැද කන්නයේ) සඳහා වැදගත් වන අතිරේක ආහාර බෝගයකි.

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

හොඳින් ජලවහනය සිදු වන වැලි සහිත ලෝම පසක් මෙන්ම සෙන්ටිග්‍රේඩ් අංශක 25 – 35 අතර උෂ්ණත්වයක් හා වියළි පාරිසරික තත්ත්වය මුං වගාවට බෙහෙවින් හිතකර වේ.

වගා කළ යුතු කාලය

බීජ ප්‍රරෝහණය මල් හට ගැනීම සහ කරල් පිරීම යන අවස්ථාවන්හිදී පාංශු තෙතමනය තීරණාත්මක සාධකයක් වන අතර කරල් වියළීම සිදු වන විට වියළි කාලගුණයක් තිබීම වගා කාලය තීරණය කිරීමේදි වැදගත් වේ. ජලසම්පාදිත තත්ත්ව යටතේ යල කන්නයේ අප්‍රේල් මස අවසන් සතියේ සිට මැයි මාසයේ පළමු දෙසතිය තෙක්ද වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ දී ඔක්තොබර් මාසයේදි ද අතිරේක ජල සම්පාදනය කල හැකි විට නොවැම්බර් මාසයද බීජ සිටුවීමට යෝග්‍ය වේ.

මැද කන්නයේ වගා කිරීම

මහ කන්නයේ අස්වනු නෙලා ගත් පසුව නැවත යල කන්නයේ වී වගාව ආරම්භ කරන තෙක් මාස 2 – 3 ක පමණ කාලයක් කුඹුරු පුරන්ව පවතී. මෙම කාල සීමාව මැද කන්නය ලෙස හැඳින්වේ.

වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල මහ කන්නයේ අස්වනු නෙලීම පෙබරවාරි මසදී ආරම්භ වන අතර නැවත යල කන්නය සඳහා වගා කරන්නේ අප්‍රේල් මස අගදී පමණය. කුඹුරුවල ශේෂ වී ඇති තෙතමනය සහ මෙම කාලය තුළදී බලාපොරොත්තු විය හැකි අතරින් පතර ලැබෙන වැසි උපයෝගී කර ගනිමින් කෙටි කාලීන රනිල බෝගයක් කුඹුරුවල සතුටුදායකව වගාකළ හැකි බව පෙනී ගොස් තිබේ. මෙම බෝගයේ නඩත්තුව සඳහා වැඩි මහන්සියක් දැරීම අවශ්‍ය නැත. එහි  අස්වැන්න වැඩි මුදලකට පහසුවෙන් අලෙවි කර ගත හැකිය. මෙම වගාව සඳහා තෝරා ගත යුත්තේ හොඳින් හෝ මධ්‍යස්ථ ලෙස ජලය බැසයන කුඹුරු පමණි. කාන්දු වීම මගින් ජලය ලැබෙන කුඹුරු ද යෝග්‍ය වේ. දින 50 – 70 ක දී පමණ කාලයකදි අස්වනු ලබා ගත හැකි කෙටි කාලීන රනිල බෝග වර්ග මැද කන්නයේ වගාව සඳහා වඩා සුදුසුය.

අක්කරයක බීජ අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් 12කි.

ක්ෂේත්‍රය සකස් කිරීම සහ සිටුවීම

වල් පැළ මර්දනය කිරගත් භූමියෙහි පස හොඳින් පෙරලා කැට පොඩි කර ගැනීමෙන් පසු ජලවහනය හොඳින් සිදුවන ආකාරයට කාණු යෙදූ ලියදි වල හෝ නියමිත පරතරයට සකස් කර ගත්  වැටි සහ කාණු බීජ සිටුවීමට යෝග්‍යය.

බීජ වැපිරීම සහ පැල තුනී කිරීම

ලියදි වල පේලි ආකාරයට සිටුවීමේදි පේළි අතර සෙ.මී.30ක් හා පැළ අතර සෙ.මී.10ක් වන ලෙස එක් ස්ථානයක එක පැළයක් තබා ගැනීම හෝ වැටි සහ කාණු ලෙස සිටුවීමේදී වැටි අතර සෙ.මී.60 (වැටියක පේලි 2ක්)ක් හා පැළ අතර සෙ.මී. 10ක් වන ලෙස එක් ස්ථානයක පැළ 2ක් තබා ගැනීමට හැකි වන පරිදි බීජ වපුරා දින 12ක දී පැළ තුනී කළ යුතුය. අධික පැළ ගහණය රෝග හා පළිබෝධ හානි වැඩි කිරීමට හේතු වේ.

පොහොර යෙදීම

රනිල කුලයට අයත් භෝගයක් බැවින් මුං සඳහා එතරම් පොහොර යෙදීමක් සිදු නොකළද සාමාන්‍ය අස්වැන්නක් ලබා ගත හැක. එහෙත් දිගින් දිගටම වගා කරන ක්ෂේත්‍රයන්හිදී සහ වැඩි අස්වැන්නක් සඳහා පොහොර යෙදීම කල යුතු වේ. බීජ වැපිරීමට පෙර පිළිවෙලින් යූරියා, සාන්ද්‍ර සුපර් පොස්පේට් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග්‍රෑම් 12, 40, 30 ලෙස අක්කරයකට යෙදිය යුතු වේ. ඉන් අනතුරුව සිටුවා දින 30 කට පසු මල් පිපීම ආරම්භයේදි යූරියා කිලෝ ග්‍රෑම් 14ක් අක්කරයකට යෙදිය යුතු වේ.

ජල සම්පාදනය

බීජ ප්‍රරෝහනය මල් හා කරල් පිරීම යන අවධි වලදී ජල හිඟතාවයක් නොතිබිය  යුතුය.  මුල් සති 3 දී දින 3 – 4 කට වරක් හා පසුව දින 7කට වරක් ජලය යෙදීම ප්‍රමාණවත්ය. කරල් මේරීම හා වියළීම සිදු වන විට ජලසම්පාදනය සීමා කළ යුතුයි.

වල් පැල මර්දනය

හොඳින් බිම් සකසා ගත් ක්ෂේත්‍රයන්හි වල් පැළ එතරම්  තර්ජනයක් නොවේ. එහෙත් සති 2 කට වරක් මතුපිට පොහොර යෙදීම දක්වා පැළ හා පේළි අතර අතින් ගැලවීම හෝ උදලු ගෑම මගින් වල් මර්දනය කල යුතු වේ. පත්‍ර වියන මගින් පොළොව ආවරණය වූ පසු වල් පැළ වලින් ඇති කල හැකි බලපෑම ඉතා අඩුය.

රෝග හා පළිබෝධ මර්දනය

මුං වගාවේ අස්වැන්නට වැඩි බලපෑමක් ඇති කල හැකි රෝගී තත්ත්වයන් ලෙස මුං පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය මලකඩ රෝගය හා සර්කස්පෝරා පත්‍ර ලප වැනි දිලීර රෝග ද දැක්විය හැක. ලපටි පැළ වලට ඇති වන බෝංචි මැස්සාගේ හානියත් පත්‍ර හා කරල් විදින පණුවන්ගේ හානියත් ප්‍රධාන කෘමි හානි වේ.

මුං පත්‍ර විචිත්‍ර වෛරසය පතුරුවා හරින සුදු මැස්සන් සහ පැළ මැක්කන් පාලනය සඳහා නිර්දේශිත කෘෂි රසායන භාවිතය, නිසි කලට වගා කිරීම හා වල් පැළ පාලනය ඉතා වැදගත්ය.

නිර්දේශිත කෘෂී රසායන

බෝංචි මැස්සාගේ හානිය

බීජ පත්‍ර 2 ඇති වන අවස්ථාවේදි යොදන්න.

රසායනික නම

ඩයසිනෝන් 50 ඊ.සී

කාබොසල්ෆාන් 20 එස්.සී

කරල් විදින පණුවන්ගේ හානිය

රසායනික නම

තයෝඩිකාබ් 375 එස්.සී

ක්ලෝෆ්ලූඑසියුරේන් 5 ඊ.සී

එතෝෆෙන් ප්‍රොක්ස් 10 ඊ.සී

සුදු මැස්සා මර්දනය

රසායනික නම

ඉමිඩක්ලොප්‍රිඩ් 20 එස්.එල්

ෆිප්රොනිල් 5 එස්.සී

සර්කස්පෝරා පත්‍ර පුල්ලි රෝගය පාලනය

රසායනික නම

බ්ටර්ටනෝල් 300 ග්‍රෑම්/ලී.ඊසී

ක්ලෝරොතැලොනිල් 75%

මැන්කොසෙබ් 80%

මලකඩ රෝගය

රසායනික නම

බ්ටර්ටනෝල් 300 ග්‍රෑම්/ලී.ඊසී

ක්ලෝරොතැලොනිල් 75%

අස්වැන්න නෙලීම සහ සැකසීම

කරල් මේරීම සිදු වන විට දුඹුරු  කළු පැහැයට හැරේ. වගාවන්හි 80% පමණ කරල් කළු පැහැ වී ඇති විට කරල් කඩා ගැනීමෙන් අස්වනු නෙලීම කළ හැක. මුං වගාවේ අස්වනු නෙලීම වාර 2 – 3 කින් සම්පුර්ණ වේ. හොඳින් වියළීමෙන් පසු කොල මඩින යන්ත්‍රයකින් හෝ ට්‍රැක්ටරයකින් පාගා හෝ කකුලෙන් ඉවත් කර ගත් බීජ දින 2කින් පමණ හොඳින් අව්වේ වියළා  ගැනීම කළ යුතුය.

බීජ ගබඩා කිරීම

මාෂ බෝග වලට හානි කරන ගුල්ලාගේ හානිය, කල් තබා ගැනීමේදි පවතින ප්‍රධාන ගැටලුවයි. හොඳින් වියළාගත් බීජ දහයියා අළු හෝ වැලි සමඟ මිශ්‍ර කර පිරිසිදු පොලිතින් මලු වල අසුරා තැබීමෙන් වැඩි කලක් ගබඩා කර තැබිය හැකිය. ආහාරයට ගැනීමට ගබඩා කර තබන මුං සඳහා කිසිසේත්ම කෘමිනාශක නොයෙදිය යුතුය. එහෙත් සිටුවීම සඳහා කල් තබා ගන්නේ නම් ඇක්ටලික් නම් කෘෂි රසායනිකය යොදා කල් තබා ගැනීම කල හැකිය.

සාමාන්‍යයෙන් අක්කරයක් වගා කිරීම සඳහා රුපියල් 15,000 පමණ වැය වන අතර මුං වගාවෙන් ලැබිය හැකි ශුද්ධ ලාභය අක්කරයකට රුපියල් 50,000 ඉක්මවයි.

වැඩි විස්තර සඳහා:

අධ්‍යක්ෂ

ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය

මහඉලුප්පල්ලම

දුරකථන අංක: 025-2249177 / 025-2249132

 

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement