රඹුටන් වගාවේ පළිබෝධ පාලනය

 

රඹුටන් වගාව

රෝග

පිටිපුස් රෝගය

(ඔයිඩියම් දිලීරය)

ආර්ථිකව තදබල  හානියක් මින් ඇති වේ.

රෝග ලක්ෂණ

·         අතු, ලපටි පත්‍ර, පුෂ්ප හා ඵලවල මතුපිට පිටිමය ස්වභාවයක් ගනී.

·         නොමේරූ ගෙඩි කළු වී වැටේ. මේරූ ගෙඩි, රළු ස්වීභාවයක් ගනී.

·         ලපටි පත්‍ර වියළී වැටේ.

පැතිරීම

වර්ෂාව, මීදුම සහිත ග්‍රීෂ්ම කාලයේ දි

පාලනය

·         අස්වැන්න නෙලූ පසු අනවශ්‍ය අතු රිකිලි, රෝගය ආසාදනය වී ඇති අතු ඉවත් කිරීම මෙමඟින් පත්‍ර වියන මතට හා ශාකය තුළට හිරු එලිය ලැබීම වැඩි කිරීම, පත්‍ර වියන තුළට වැඩිපුර වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම සිදුවේ.

·         රෝගයට පාත්‍ර වූ සියළු ශාක කොටස් එකතුකර පුළුස්සා අවට පරිසරය පිරිසිදුව තබාගන්න.

·         ශාකය ශක්තිමත්ව වැඩීමට අවශ්‍ය සාධක සපයන්න. (පොහොර යෙදීම, ජල සම්පාදනය, ආලෝකය, වල් මර්දනය)

·         රෝග ලක්ෂණ දුටු විගස රසායනික පාලන ක්‍රම අනුගමනය කරන්න. ජලයේ දිය කළ හැකි ගෙන්දගම් ග්‍රෑම් 4ක් ජලය ලීටර 1ක දියකර දින 10-14 අතර කාල පරාසයකදි තුන්වරක් යෙදීම කළ යුතුය. උදය කාලයේ රසායනික යෙදීම වඩාත් සුදුසුය.

·         පෙර කන්නයේ හානිය දක්නට ලැබුනේ නම් දළු කාලයේදිම රසායනික ද්‍රව්‍ය යෙදීම ආරම්භ කරන්න.

ඇන්ත්‍රැක්නෝස් රෝගය

(කොලිට්‍රොටිකම් දිලීරය)

අධික වර්ෂාව සහිත ප්‍රදේශවල සෙවන සහිත ස්ථානවල වැඩෙන ශාකවල දක්නට ලැබේ.

රෝග ලක්ෂණ

·         පත්‍ර - වලයාකාර දුඹුරු වියළි ලප, ලපටි පත්‍ර දාරය පිලිස්සීම

·         මල් - දුඹුරු පැහැවී වියළී යාම

·         ඵල - වලයාකාර තද දුඹුරු ලප

පැතිරීම

සුලඟ හා වර්ෂාව මඟින්

පාලනය

·         ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම.

ක්ෂේත්‍රය හොඳින් නඩත්තු කිරීම

·         ශාකයට හොඳින් ආලෝකය ලැබෙන අයුරින් මිය ගිය හා වැඩිපුර ඇති අතු ඉවත්කර නිසි අයුරු කප්පාදු කිරීම.

·         ගස් අවට ඇති අනවශ්‍ය ශාක ඉවත් කරීම.

ඉහත ක්‍රම මගින් රෝගය පාලනය කළ නොහැකි විට පමණක් නිශ්චිත කාලයක් තුළ ඩැකොනිල්, මැන්කොසෙබ්, මැන්බි වැනි දිලීර නාශක යොදන්න.

කෘමි හානි

පිටි මකුණා

(ප්ලැනකොකස් සිට්‍රි)

හානිය

කෘමියාගේ පිටවන පිටි වැනි ද්‍රව්‍යයක් තැවරීම නිසා පිට පොත්ත සහ කෙඳි සුදු පාට වේ. එසේම ශරීරයෙන් පිටවන සීනි අඩංගු ද්‍රව්‍ය මත දිලීර වර්ධනය වේ. එසේම ශරීරයෙන් පිටවන සීනි අඩංගු ද්‍රව්‍ය මත දිලීර වර්ධනය වේ. ගෙඩියේ පිට පොත්ත කළු වේ.

මර්දනය

මෙම කෘමියාගේ ව්‍යාප්තිය කුහුඹුවන් මඟින් සිදු වේ. එබැවින් කුහුඹුවන් මර්දනය සඳහා ගස පාමුල කෘමීන් ගැවසෙන ස්ථානවලට සුදුසු කෘමිනාශකයක් යොදන්න.

කඳ විදින කුරුමිණියා

(සියලොබෝරස් මොස්ටාටි)

කුඩා කළු දුඹුරු කුරුමිණියෙකි.

හානිය

පැලවල කඳෙහි උමං සාදා ඒ තුළ බිත්තර දමන නිසා පැල මැරී යයි.

පාලනය

හානියට පාත්‍ර වූ අතු ඉවත්කර විනාශ කිරීම කුඩා ගසකට කාබොෆියුරාන් ග්‍රෑම් ½ ක් හෝ ඉම්ඩක්ලොප්‍රිඩ් කෘමිනාශකය මිලි ලී.1ක් ජලය ලීටරයක මිශ්‍ර කර යොදන්න.

කඳ විදින පණුවො

(සෙව්සෙරා විශේෂ)

රතු දුඹුරු පැහැති පණුවෙකි කුඩා පැළවල කඳෙහි පටක ආහාරයට ගැනීම මඟින් හානිය සිදු වේ.

පාලනය

හානියට පාත්‍ර වී ඇති අතු ඉවත් කර විනාශ කරන්න අවශ්‍ය අවස්ථාවලදි කඳ විදින කුරුමිණියා පාලනය සඳහා නිර්දේශිත කෘමිනාශකම භාවිතා කරන්න.

කොළ කන දළඹුවා

මේරූ පත්‍ර ආහාරයට ගනී.

පාලනය

දළඹුවන් අතින් එකතුකර විනාශ කරන්න නැතහොත් සුදුසු කෘමිනාශකයක් යොදන්න.

පලතුරු මැස්සා

(බැක්ටොසෙරා ඩෝර්සාලිස්)

හානිය

වැඩුණු මැස්සා පැසුනු ගෙඩිවල බිත්තර දමන අතර, කීටයා රඹුටන් මදය අර්ධ දියර තත්ත්වයකට පත්කර ඒ මත ජීමත් වේ.

පාලනය

පිලා අවස්ථාව පසේ ගත කරන බැවින් වැටුනු ගෙඩි අහුලා විනාශ කර ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගත යුතුය. සුහුඹුල් මැස්සා විනාශ කිරීමට මෙතිල් ඉයුජිනෝල් උගුල් භාවිතා කිරීම සුදුසුය.

ගෙඩි විදින පණුවා

(කොනොපොමෝර්ෆා ක්‍රැමරෙල්ලා)

වැඩුනු සළබයා දුඹුරු පැහැති කුඩා සළබයෙකි. හානිකර කීටයා සුදු පැහැති කුඩා පණුවෙකි. පිලා අවස්ථාව කුණුරොඩු අතර ගතකරයි.

හානිය

කීටයා නටුව ආසන්නයේ සිට මදය දෙසට ගමන් කරමින් එම කොටස් ආහාරයට ගනී. මෙමගින් ද්විතියික ආසාදන ද ඇතිවිය හැක.

පාලනය

හානි වූ ගෙඩි ඉවත් කර ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව පවත්වා ගත යුතුය. ස්වාභාවික සතුරන් මගින් වෙව හානිය තරම්ක දුරට පාලනය වන බැවින් කෘමිනාශක භාවිතයෙන් තොරව කොහොඹ ඇට නිස්සාරකය (ඇට ග්‍රෑම් 40-50 ක් ජලය ලී. 1ක) සතියකට වරක් යෙදීම වඩා යෝග්‍ය වේ.

 

සැකසුම

එච්.ඩී.ජයවික්‍රම (පර්.නිලධාරි)

ප්‍රදිපා අලහකෝන් (පර්. නිලධාරි)

එච්.ඩී.ඒ.එස්.පියසේන (වැඩසටහන් සහකාර)

එන්.එච්.ජයවර්ධන (වැඩසටහන් සහකාර)



Share:

0 comments:

< >

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement